මහාචාර්ය ලලිත් ගමගේ ICTA සභාපති ධුරයට

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) නව සභාපතිවරයා ලෙස මහාචාර්ය ලලිත් ගමගේ මහතා පත් කෙරී ඇතැයි එම නියෝජිත ආයතනය නිවේදනය කරයි. ජනවාරි 01 වැනිදා සිට ඒ මහතා ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව තිබේ.

ICTA ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජයන්තද සිල්වා මහතා මෑතකදී පිහිටවූ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කිරීමෙන් අනතුරුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා ගමගේ මහතා පත් කෙරී ඇත.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIT) පිහිටුවීමේ ප්‍රධාන සැලසුම්කරුවා වන මහාචාර්ය ලලිත් ගමගේ මහතා වර්තමානයේදී එහි උපකුලපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරයි. ලංකා සොෆ්ට්වෙයාර් ෆවුන්ඩේෂන්හි සභාපතිවරයා, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපතිවරයා ඇතුළුව තවත් තොරතුරු තාක්ෂණික ආයතනවල ප්‍රධාන ධුර දරමින් මෙරට තුළ තොරතුරු තාක්ෂණික කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා දායකත්වය ලබා දී තිබේ.

මෙලෙස සභාපති ධුරයට පත්වන අවස්ථාව වනවිටත් ගමගේ මහතා ICTA හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය. එසේම ඒ මහතා එම ආයතනය මගින් ක්‍රියාත්මක කළ ඩිජිටල් හැදුනුම්පත් ව්‍යාපෘතියේ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයාද විය.

මේ අතර ගමගේ මහතා ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංවිධානයේ (SLASSCOM) උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි. එසේම ඒ මහතා ශ්‍රී ලංකා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සංගමයේ (SLANSHEI) ආරම්භක සභාපතිවරයාද වෙයි.

මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික සහ සන්නිවේදන ඉංජිනේරු උපාධියක් හිමි කරගෙන ඇති  මහාචාර්ය ලලිත් ගමගේ මහතා කැනඩාවේ බ්‍රිටිෂ් කොලුම්බියා විශ්වවිද්‍යලයෙන් පශ්චාත් උපාධිය හිමි කරගනෙ ඇත. ඒ මහතා 2000 වසරේදී අධ්‍යාපනික ක්ෂේත්‍රය සඳහා ලබාදුන් නායකත්වය යටතේ වඩාත් සුවිශේෂී තරුණ චරිතය සඳහා පිරිනැමෙන TOYP සම්මානයෙන්ද  පිදුම් ලබා තිබේ.

Visits: 29