නව වසරේ ASPI ඒකක 7,000 පසු කිරීමේ බලාපොරොත්තු සමග 2020ට ගනුදෙනු නිමා කරයි

අද දිනයේදී (දෙසැ 31) කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භයේදීම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සහ බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී යන සමාගම් කොටස් මිල අගයන්හි පෙන්නුම් කළ ඉහළ යාම දර්ශක අගයන් ඉහළ යාමට හේතු වුණු බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

එසේම කොවිඩ්-19  එන්නත්කරණය පිළිබඳ අදහස් සමගින් හේමාස් හෝල්ඩිංග්ස් සහ ආසිරි හොස්පිටල්ස් පීඑල්සී යන සමාගම්හි කොටස් සඳහා වන ආකර්ෂණයද ඉහල  යාමක් සිදුවී තිබේ. එසේම එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස්ද මෙහිදී දිනයේ දර්ශක අගයන් ඉහළ යාමට දායකත්වය ලබා දුන් බව එම තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව ඊයේ දිනයේදී ඒකක 6,757.63ත් ඒකක 6,778.87ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI)  දිනය නිමා වනවිට එය ඒකක 6,774.22 ක් බවට පත්විය. එය ඊයේ (දෙසැම්බර් 30) දිනයට සාපේක්ෂව ඒකක 26.21 ක් එනම් +0.39%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව සණස ඩිවලොප්මන්ට් බැංකුව සහ ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සිදු කළ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 10%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 109ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 78ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී BIL (+6.58), ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+3.38), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (+3.17),  කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (+2.94),  එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+2.24),  ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී  SLTL (-1.24),  හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (-1.23),  එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී  LOLC (-1.09),  කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-1.03), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-0.91)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,638.10 ක අගයක් ගත් අතර, එය ඊයේ (දෙසැම්බර් 30) දිනයට සාපේක්ෂව ඒකක 6.57 ක එනම් +0.25%ක ඉහළ යාමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (දෙසැ 30දා) වාර්තා කළ රුපියල් බිලියන 3.75ට සාපේක්ෂව 20% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.96 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 3.83%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 38.22ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 110.50ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 72.28කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 51.09ක් ලෙස සටහන්ව තිබේ.

දිනය තුළ විදේශයන්හි සිට විදේශයන් දක්වා සිදු වූ ගනුදෙනුවල වටිනාකම රුපියල් මිලියන 4.40කි.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඒසීඑල් කේබල්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 22.41කි. එසේම හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සි විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 26.97ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 738ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 25% ක අගයක් ගෙන තිබේ. ආහාර, පානවර්ග සහ දුම්කොළ නිෂ්පාදන අංශ සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 698ක සහ රුපියල් මිලියන 446ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 115