සිනමන් ලයිෆ් තුළ ‘’කැසිනෝ’ පිහිටුවීමේ අවස්ථාව හිමිවීමේ වැඩි ඉඩක්?

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ලබන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන සිනමන් ලයිෆ් තුළ කැසිනෝ ක්‍රීඩා පහසුකම් සඳහා අවසර ලබා දීමේ ඇති හැකියාවක් සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර ඇතැයි වාර්තා වෙයි.

මේ පිළිබඳව වාර්තාවක් ගෙන එන අද ඩේලිමිරර් පුවත්පත, සිනමන් ලයිෆ් ව්‍යාපෘතිය හිමි ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සහ රජයේ අදාළ පාර්ශ්වයන් අතර දැනටමත් මේ පිළිබඳව සාකච්ඡාවන්ද පැවැත් වී තිබෙන බව පැවසෙයි.

විශේෂයෙන්ම ඉදිරි කාලයේදී මෙරට සහාධිපත්‍ය වෙළෙඳපොළ වෙත වඩා වැඩි සංචාරකයන් මෙන්ම විදේශ ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම වෙනුවෙන් රජය මෙලෙස මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති තුළ කැසිනෝ පිහිටුවීමේ අවස්ථාව ලබා දීමේ අදහසකට යොමුව තිබෙන බව  පුවත්පත  පවසයි.

මෙහිදී ලබන වසරේ පළමු කාර්තුවේදී පමණ කොළඹ වරාය නගරය හෙවත් ජාත්‍යන්තර මූල්‍ය නගරය සඳහා සම්මත කිරීමට නියමිත නව නීති කෙටුම්පත්වලින් අනතුරුව සිනමන් ලයිෆ් සඳහා මෙම අවස්ථාව අනුමත කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බව සඳහන් වෙයි.

ඒ අනුව මෙම නව නීති කෙටුම්පත්  හරහා මෙරට වෙත ලැබෙන ඍජු විදේශ ආයෝජන තවත් වටයකින් ආරම්භ කිරීමේ හැකියාවක් පවතින බවත් ආර්ථික විශ්ලේෂකයන් සහ ආර්ථිකවිද්‍යාඥයන් සඳහන් කරන බවද පුවත්පත මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර පසුගිය නොවැම්බර් මාසය ආරම්භයේදී නිවේදනයක් නිකුත් කළ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම, සිය  සිනමන් ලයිෆ්හි සුඛෝපභෝගී මහල් නිවාස සහ කාර්යාල කුළුණ 2020/21 මූල්‍ය වසරේ සිව්වැනි කාර්තුවේදී පමණ වැඩ අවසන් කර  එහි හිමිකරුවන් වෙත ලබා දීමට හැකියාව ලැබෙනු ඇතැයි පවසා තිබුණි.

වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස සිටි සමයේදී මෙරට වෙත කැසිනෝ මෙහෙයුම් සහිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති ගෙන ඒම සම්බන්ධයෙන්  උත්සාහයක් ගැනුණනද, විවිධ දේශපාලනික සහ ආගමික මැදිහත්වීම් හරහා එම උත්සාහයන් නිමාවට පත්විය.

ඔස්ට්‍රේලියානු ජාතික කැසිනෝ සහ සමාජශාලා ව්‍යාපාරිකයෙකු වූ ජෝන් කෙරීද එලෙස මෙරට ආයෝජනය සඳහා පැමිණි පිරිස් අතර සිටියේය.

කෙසේ වෙතත් COVID-19 වසංගතය හමුවේ අර්බුදයට ලක් ව ඇති මෙරට ආර්ථිකය මෙන්ම පසුබැසීමට ලක්ව ඇති මෙරට ඍජු විදේශ ආයෝජනද යළිත් ආකර්ෂණය කරගැනීම සඳහා මෙවැනි ක්‍රමවේද වෙත යොමුවීම අනිවාර්යය වෙනු ඇතැයි බොහෝ පාර්ශ්වයන්ගේ අදහස වී තිබේ.

Visits: 314