හේමාස් දායකත්වයත් සමග ASPI වසර තුනකට පසු ඉහළම අගයට

ඊයේ දිනයේදී (දෙසැ 28) කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු තුළදී සමස්ත කොටස් මිල දර්ශකය කැපී පෙනෙන ලෙස ඒකක 6,700 සීමාව පසු කිරිමට සමත් විය. මෙය 2017 ජූලි මාසයේ සිට වසර තුනකට පසුව එම දර්ශක අගයන් වාර්තා කළ ඉහළම අගයද වෙයි. මෙහිදී විශේෂයෙන්ම කොවිඩ්-19 එන්නත් නිෂ්පාදන සමාගම් හා පවතින සබඳතාවය හේතුවෙන් හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි කොටස් සඳහා වන ඉල්ලුම ඉහළ යාම හේතුවක් වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.  

ඒ අනුව ඊයේ දිනයේදී ඒකක 6,698.64ත් ඒකක 6,721.70ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI)  දිනය නිමා වනවිට එය ඒකක 6,704.89 ක් බවට පත්විය. පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 24) දිනයට සාපේක්ෂව එය ඒකක 19.25 ක් එනම් +0.29%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව අමානා ටකාෆුල් පීඑල්සී සහ හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සිදු කළ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 5%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 125ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 66ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී BIL (+3.29), හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (+3.0), හේලීස් පීඑල්සී HAYL (+2.66),  කොමර්ෂල් බැංකුව COMB (+2.51),  ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+1.87),  කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී  CARS (-3.77),  සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (-3.04), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී  MELS (-2.67),  නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-1.71), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (-1.53)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,614.84 ක අගයක් ගත් අතර, එය පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 24) දිනයට සාපේක්ෂව ඒකක 15.17 ක එනම් +0.58%ක ඉහළ යාමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.38ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැ 24දා) වාර්තා කළ රුපියල් බිලියන 2.75ට සාපේක්ෂව 50% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.93 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 2.77%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 25.75ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 102.37ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 76.62කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 50.87ක් ලෙස සටහන්ව තිබේ.

දිනය තුළ විදේශයන්හි සිට විදේශයන් දක්වා සිදු වූ ගනුදෙනුවල වටිනාකම රුපියල් මිලියන 11.99කි.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 4.79කි. එසේම හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සි විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 61.06ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 467ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 34% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ නිෂ්පාදන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 222ක සහ රුපියල් මිලියන 176ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 230