සොෆ්ට්ලොජික් අධ්‍යක්ෂ සෙල්ලයියා සිය කොටස් ලක්ෂ 43ක් අලෙවි කරයි

කොළඹ කොටස්  හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සීහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ආචාර්ය සිවකුමාර් සෙල්ලයියා මහතා සමාගම තුළ තමන් සතුව තිබූ කොටස් ලක්ෂ 43ක් (4,393,722) ක් අලෙවි කර ඇතැයි එම සමාගම සඳහන් කරයි.

මෙහිදී කොටසක් රුපියල් 12 බැගින් අලෙවි කෙරී තිබේ. ඒ අනුව මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 52 (52,724,664) කි. පසුගිය දෙසැම්බර් 24 වැනිදා මෙම අලෙවි කිරිම සිදුව තිබෙන බව සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

ඒ අනුව මෙහිදී සෙල්ලයියා මහතාගේ නැන්දම්මා වන අභිරාමිපිල්ලෙයි කයිලාසපිල්ලෙයි නමින් මිලදී ගෙන තිබූ කොටස් 312,000 ක්, මස්සිනා වන කයිලාසපිල්ලෙයි අරවින්දන් නමින් මිලදී ගෙන තිබූ කොටස් 401,018ක් මෙන්ම සිය බිරිඳ වන අරුන්තාති සෙල්ලයියා නමින් මිලදී ගෙන තිබූ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සීහි කොටස් 552,640ක් අලෙවි කර තිබේ.

එසේම ඒ මහතා අධ්‍යක්ෂවරයෙකු වන අරුනෝදය ඉන්ඩස්ට්‍රීස් (පෞද්) සමාගම  සතුව තිබූ කොටස් 1,200,000 ක් සහ අරුනෝදය ඉන්වෙස්ට්මන්ට්ස් (පෞද්) සමාගම සතුව තිබූ කොටස් 1,157,864 ක්ද මෙහිදී අලෙවි කර ඇත.  මීට අමතරව සෙල්ලයියා මහතා අධ්‍යක්ෂ ධුර දරන ඇන්ඩිසෙල් (පෞද්) සමාගම මගින්ද මිලදී ගෙන තිබූ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සීහි කොටස් 390,200ක්ද මෙලෙස අලෙවි කර තිබේ.

මීට අමතරව සෙල්ලයියා මහතා තමන් සතුව තිබූ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සීහි තවත් කොටස් 380,000ක්ද අලෙවි කර ඇත.

2020 මාර්තු 31 වැනිදා වනවිට සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සීහි මුල් කොටස්හිමිකරුවන් 20 දෙනා අතරද, ඉහත සඳහන් වූ ආචාර්ය සෙල්ලයියා ඇතුළු මෙම කොටස් හිමිකරුවන් සිටියි.

ඒ අනුව අරුන්තාති සෙල්ලයියා සතුව කොටස් 5,252,640ක්, අරුනෝදය ඉන්ඩස්ට්‍රීස් සතුව කොටස් 4,757,864ක්, අභිරාමිපිල්ලෙයි කයිලාසපිල්ලෙයි සතුව කොටස් 4,512,000ක්, කයිලාසපිල්ලෙයි අරවින්දන් සතුව කොටස් 3,801,018ක්, අරුනෝදය ඉන්වෙස්ට්මන්ට් (පෞද්) සමාගම සතුව කොස් 3,147,668ක් යනාදී ලෙස පවතී.

මීට අමතරව අරුනෝදය (පෞද්) සමාගම යටතේ කොටස් 3,000,000ක් සහ ආචාර්ය සිවකුමාර් සෙල්ලයියා නමින්ද සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් 2,480,000ක්ද ඇත.

Visits: 569