‘සතොස’ නීතීඥ වෙනුර ගුණවර්ධනට – ‘ලංකා සතොස’ රියර් අද්මිරාල් ආනන්ද පීරිස්ට

වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (CWE) නව සභාපතිවරයා වශයෙන් නීතීඥ වෙනුර ගුණවර්ධන මහතා පත් කර ඇතැයි එම අමාත්‍යාංශය පවසයි. එසේම ලංකා සතොස ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ද පත් කර ඇත. වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම නව පත් කිරිම සිදු කර තිබේ.

සමූපකාර තොග වෙළෙඳසංස්ථාවේ සහ ලංකා සතොස ආයතනයේ හිටපු සභාපතිවරයා වන නුෂාඩ් පෙරේරා මහතා පසුගියදා වෙළෙඳ අමාත්‍යවරයා විසින් ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව මෙම නව පත් කිරීම සිදු කර තිබේ.

හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන නීතීඥ වෙනුර ගුණවර්ධන මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ උපාධිධාරියෙකු වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රාජ්‍ය කළමණාකරණය පිළිබඳ විශේෂ උපාධිධාරියකුද වේ.

එමෙන්ම ලංකා සතොස ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් පත් කරනු ලැබූ රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කර ඇත.

මෙ නව ධුර සඳහා පත්වීම් ලිපි ප්‍රදානය වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඊයේ (දෙසැම්බර් 28දා) වෙළෙඳ අමාත්‍යාංශයේදී දී සිදු කෙරිණි.

ඒ අනුව නව සභාපතිවරුන් දෙදෙනා හට ආයතන දෙකෙහි උන්නතිය උදෙසා පැවරුණු ඉලක්කයන් හා වගකීම් නිසි පරිදි ඉටු කිරීමටත් ඒ අනුව කිසිදු පාඩුවක් නොලබමින් ජනතාව වෙනුවෙන් සිය සේවාව නිසි ලෙස ක්‍රියාත්මක කිරීමටත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් උපදෙස් ලබා දුන් බවද අමාත්‍යාංශය පවසයි.

Visits: 81