ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය – 2019 නිකුත් වෙයි

2019 වසරේදී ජාතික සෞභාග්‍යය පිළිබඳ අගයන් වාර්තා කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සකස් කෙරුණු ‘ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය – 2019’ නිකුත් කිරීමට මහ බැංකුව කටයුතු යොදා තිබේ. ඒ අනුව 2018 වසරේ වාර්තා වුණු ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකයේ පැවැති 0.811 අගයට සාපේක්ෂව 2019 වසරේදී එය 0.802ක් ලෙස වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය යනු රටෙහි සෞභාග්‍යය මැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව මගින් සම්පාදනය කරනු ලබන බහුමාන දර්ශකයකි. මෙම දර්ශකය සෞභාග්‍ය මනිනු ලබන විවිධ අංශ නියෝජනය කරන විචල්‍යයන් 41ක් යොදා ගනිමින් ගණනය කරනු ලබයි. එහිදී ආර්ථික සහ ව්‍යාපාර පරිසරය, ජන ජීවිතයේ යහ පැවැත්ම සහ සමාජ ආර්ථික යටිතල පහසුකම් සංවර්ධන යන උපදර්ශක තුනකින් සමන්විත වෙයි.

මෙහිදී ‘ආර්ථික සහ ව්‍යාපාර  පරිසරය’ සහ ‘සමාජ ආර්ථික යටිතල පහසුකම්’ යන උපදර්ශකයන්හි පහළ යෑම හේතු වී ඇති අතර, ‘ජන ජීවිතයේ යහ පැවැත්ම’ උපදර්ශකය 2019 වසර තුළදී වැඩි දියුණු වී ඇතැයි පැවසෙයි.

ඒ අනුව 2019 වසරේදී පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් ඇති වූ බලපෑම මත සංචාරක හා ඒ ආශ්‍රිත කර්මාන්ත කෙරෙහි එල්ල වූ බලපෑම මත විරැකියාව ඉහළ යෑම සහ 2019 වසරේ අගභාගයේදී පැවැති අයහපත් කාලගුණික තත්ත්වයන් පදනම් කොටගෙන සාපේක්ෂව ඉහළ උද්ධමනයක් වාර්තා වීම ආර්ථික සහ ව්‍යාපාර පරිසරය නම් උපදර්ශකයේ පහළ  යෑමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

එසේම පාස්කු ප්‍රහාරයෙන් පසුව ආරක්ෂාව පිළිබඳ ඇති වූ අවිනිශ්චිතතාවය සමග පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතය අඩු වීම, සමාජ ආර්ථික  යටිතල පහසුකම් උපදර්ශකයේ පහළ යෑම කෙරෙහි බලපෑ ප්‍රධාන සාධකය වී තිබේ.

මීට අමතරව සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම්වල ගුණාත්මකභාවය සහ මහජනතාවගේ වත්කම් යන අංශවල ඉහළ වර්ධනය ජන ජීවිතයේ යහපැවැත්ම උපදර්ශකයේ ඉහළ යෑමට ප්‍රදාන වශයෙන් දායක වී තිබේ.

Visits: 339