රුපියල් බිලියන 10 අලාභය ගැන ‘පිරමිඩ් විල්මාර්’ වෙතින් දැන්වීමක්

පිරමිඩ් විල්මාර්, සතොස සහ දේශපාලනඥයන් එක්ව සිදු කළ දූෂිත සීනි ගනුදෙනුවකින් රුපියල් බිලියන 10ක අලාභයක් සිදු වුණු බවට සඳහන් කරමින් පසුගිය දෙසැම්බර් 13 වැනිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් පළ කරන ලද ලිපිය සඳහා පිලිතුරු ලබා දෙමින් දැන්වීමක් පළ කිරීමට පිරමීඩ් විල්මාර් සමාගම පසුගියදා කටයුතු යොදා තිබේ.

ඒ අනුව සති අන්ත ලංකාදීප පුවත්පතෙහි මෙම දැන්වීම පළ කෙරී ඇති අතර, එහි සඳහන්ව ඇත්තේ පිරමීඩ් විල්මාර් සමාගම විසින් සිදු කරන ලද එම සීනි ආනයනය කිරීමේ කටයුත්ත සාධාරණ වූත්, විනිවිද භාවයෙන් යුක්ත වූ, දේශපාලන පක්ෂපාතීත්වයෙන් තොරව ලබා ගත් වෙළෙඳ අවස්ථාවක් බව පිරමීඩ් විල්මාර් (පෞද්ගලික) සමාගම (පිරමිඩ් විල්මාර්) සහ එහි අධ්‍යක්ෂවරුන් ප්‍රකාශ කොට වාර්තා කර සිටින බවකි.

ජාතික ජන බලවේගයේ නායක සහ පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේ සිදු කරන ලද ප්‍රකාශයක් තුළ මෙම සීනි ගනුදෙනුව සම්බන්ධයෙන් හෙළිදරව් කර තිබූ අතර, පිරමීඩ් විල්මාර් සමාගම මගින් සිදු කළ මෙම ගනුදෙනුවෙන් රුපියල් බිලියන 10ක ආදායමක් භාණ්ඩාගාරයට අහිමි වී ගිය බවත් සඳහන්ව තිබුණි.

Visits: 300