මාස 9 කට පසු මෙරටට ආ පළමු සංචාරක කණ්ඩායම

යුක්රේනයේ අඩුමිල ගුවන් සේවයක් වන SkyUP ගුවන් සේවය මගින් මෙරටට රැගෙන ආ සංචාරකයන් 180 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම අද පස්වරුවේදී මත්තල රාජපකෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණීම සිදු විය.

බොයිං 737-900 මාදිලියේ යානයක් වන මෙය දෙ පස්වරු 14.06ට මත්තල ගුවන් තොටුපොළ වෙත  පැමිණ තිබේ. නව කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී මෙරට ගුවන් තොටුපොල සංචාරකයන් සඳහා වසා දැමීමෙන් අනතුරුව, මාස නවයකට පසුව සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණි පළමු අවස්ථාවද මෙයයි.

මෙහිදී ඔවුන් රැගෙන පැමිණි PQ555 දරන යානය ජල ආචාරයක් ලබා දීමටද ගුවන් තොටුපොළ බලධාරීන් කටයුතු යොදා ඇත. එසේම පැමිණි මෙම සංචාරකයන් පිළිගැනීම සඳහා ගුවන් තොටුපොළ තුළ සංස්කෘතික අංගයක්ද සංවිදානය කෙරී ඇත.

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදංයග වීරතුංග මහතාගේ මැදිහත්වීම අනුව මෙම සංචාරක කණ්ඩායම මෙරටට රැගෙන ඒම සිදු විය. මෙහිදී දකුණු පළාත තුළ පමණක් ඔවුන්ට සංචරණය සඳහා අවස්ථාව සලසා දී තිබේ. මෙම කණ්ඩායමට අමතරව ඉදිරියේදී තවත් රුසියානු සහ යුක්රේන සංචාරක කණ්ඩායම් රැසක් මෙරටට පැමිනීම නියමිත බවත් පැවසෙයි.

Visits: 225