ද ෆිනෑන්ස් සමාගම CSE ලැයිස්තුගත කිරීමෙන් අද සිට ඉවතට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වූ ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම එම ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කරන බව කොළඹ කොටස්  හුවමාරුව පවසයි. අද දිනයේ (2020 දෙසැම්බර් 28) වැනිදා සිට ක්‍රියාත්මක වන ලෙස මෙම ඉවත් කිරීම සිදුව තිබේ.

1987 (සංශෝධිත) අංක 36 දරන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 53 වැනි වගන්තිය යටතේ සහ 2001 දෙසැම්බර් 18 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය යටතේ පිහිටුවා ඇති සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් නිකුත් කර ඇති රීති 4 (2) අදාළව මෙම ඉවත් කිරීම සිදුව තිබෙන බව කොළඹ කොටස් හුවමාරුව සියලුම සාමාජික සමාගම් සහ ගනුදෙනු සාමාජිකයන් වෙත දන්වා සිටියි.

දැඩි මූල්‍ය අර්බුදයට ලක්ව නව ආයෝජකයෙකු සොයා ගත යුතු තත්ත්වයට පත්ව තිබූ ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම වෙනුවෙන් නිකුත් කර තිබූ බලපත්‍රය 2020 මැයි 22 වැනි දින සිට අවංලගු කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් තීරණය කර තිබුණි. ඒ අනුව එම දින සිට ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයට මුදල් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යෑමට මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන අනුව අවසර නොමැති බවත් සඳහන් විය.

මේ අතරම ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනය වෙත 2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණ පනතේ විධිවිධාන යටතේ, ‘ලියාපදිංචි කරන ලද කල්බදු මූල්‍යකරණ ආයතනයක්’ ලෙස නිකුත් කරන ඇති ලියාපදිංචි සහතිකය අවලංගු කිරීමටද මහ බැංකුව තීරණය කර තිබුණි.

Visits: 319