On’ally හෝල්ඩිංග්ස් හිමිකම් නිකුතුව ගැන SEC පරීක්ෂණයක්

බම්බලපිටියේ පිහිටි යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ හිමිකාරීත්වය සහ එහි කළමනාකාරීත්වය හිමි On’ally හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මගින් සිදු කළ හිමිකම් කොටස් නිකුතුවක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) මගින් පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී On’ally හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ වැඩිම කොටස්හිමිකරුවා (44.8෴ක්) වන නාගරික සංවර්ධන අධිකාරිය විසින් රේනුකා කැපිටල් පීඑල්සී  සමාගමට එරෙහිව සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ෂණ පැවැත්වෙයි. ඒ යටතේ මූලික විමර්ෂණ කටයුතු පසුගිය බදාදා (දෙසැම්බර් 23) පැවැත්වුණු බව මෙම පුවත ගෙන එන සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.

නාගරික සංවර්ධන අධිකාරියේ පැමිණිල්ලට අනුව 2019 වසරේදී සිදු කළ On’ally හෝල්ඩිංග්ස් පීඑල්සීහි හිමිකම් කොටස් නිකුතුවේදී රේනුකා කැපිටල් පීඑල්සී සමාගම අනෙකුත් කොටස් හිමිකරුවන් කිහිප දෙනෙකුද සමගින් ඇති කරගත් එකතඟතාවකට අනුව රුපියල් මිලියන 90ක වටිනාකමකින් යුත් කොටස් මිලියන 5.4ක් මිලදී ගැනීමට කටයුතු යොදා ඇතැයි පවසයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී On’ally හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වෙත යුනිටි ප්ලාසා පරිශ්‍රය අලුත්වැඩියා කිරීම සඳහා යැයි පවසමින් එවැනි හිමිකම් නිකුතුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති වූ බවත්, ඒ වනවිටත් සමාගම සතුව රුපියල් මිලියන 600ක තැන්පතුවක් පැවැති බවත් නාගරික සංවර්ධන අධිකාරිය පවසා සිටියි.

මේ අතර 2020 වසරේ දෙසැම්බර් 03 වැනිදා රේනුකා සමාගම තමන් සතුව තිබූ 43.82%ක් වූ කොටස් ප්‍රතිශතයක් ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී වෙත කොටසක් රුපියල් 30.20 බැගින් අලෙවි කිරීම සිදු විය. එම වටිනාකම සැබෑ වටිනාකම මෙන් තුන් ගුණයක් බව සන්ඩේ ටයිම්ස් පුවත්පත  පවසයි.

මෙහිදී රේනුකා කැපිටල් සමාගම තමන් සතුව තිබූ කොටස් සියල්ලම අත්හැරි අතර, ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමගින් තවත් කොටස් හිමිකරුවන් සතුව තිබූ 7%ක කොටස් ප්‍රමානයක්ද මිලදී ගනිමින් On’ally හෝල්ඩිංග්ස් පීඑල්සීහි සමස්ත කොටස් 50.8%ක ප්‍රතිශතයක් අත්පත් කරගත්තේය. මේ සඳහා වූ සමස්ත වියදම රුපියල් බිලියන 1.4 කි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් පුවත්පත වෙත කරුණු දක්වා ඇති නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු, 2019 වසරේ සිදුකළ මෙම හිමිකම් නිකුතුවේදී රේනුකා කැපිටල් පීඑල්සී සමාගම කොටස් මිලදී නොගැනීමක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණි බව පවසා ඇත. ඒ අනුව රේනුකා කැපිටල් පීඑල්සී සමාගම විසින් අදාළ පාර්ශ්වයන් වෙත On’ally හෝල්ඩිංග්ස්හි කොටස් මිලදී ගැනීම සඳහා අවස්ථාව ලබා දෙමින් සදාචාර විරෝධී ගනුදෙනුවක යෙදී ඇති බවට නාගරික සංවර්ධන අධිකාරිය මගින් චෝදනා කර තිබෙන බව පැවසෙයි.

එහිදී රේනුකා කැපිටල් පීඑල්සී සමාගම On’ally හෝල්ඩිංග්ස් හි කොටස් හිමිකාරීත්වය බාල කිරීම සඳහා මෙලෙස අනෙකුත් පාර්ශ්වයන් හා ඇති කරගත් එකඟතාවකට අනුව  කොටස් හිමිකම් නිකුතුවෙන් කොටස් මිලදී ගැනීමට කටයුතු යොදා ඇති බවත් ඒ හරහා තවත් සිව් දෙනෙකුද සමගින් එක්ව සමාගමේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් 51%ක ප්‍රතිශතයක් අත්පත් කරගැනීමට කටයුතු යොදා ඇති බවත් නාගරික සංවර්ධන අධිකාරිය චෝදනා කරයි.

2017 වසරේදී On’ally හෝල්ඩිංග්ස්හි 23%ක කොටස් හිමිකාරීත්වයක් පැවැති සිලෝන් ඇන්ඩ් ෆොරින් ට්‍රේඩර්ස් පීඑල්සී සමාගමේ කොටසක් රුපියල් 43 බැගින් මිලදී ගෙන රේනුකා සමාගම මෙලෙස On’ally හෝල්ඩිංග්ස් මිලදී ගැනීම වෙත අවතීරණ වී ඇත.

පසුව 2018 වසරේදී සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අත්පත් කරගැනීම් සහ ඒකාබද්ධවීම් යන වගන්තිය යටතේ රේනුකා කැපිටල් පීඑල්සී සමාගම On’ally හෝල්ඩිංග්ස් හි සිය කොටස් ප්‍රතිශතය 35.3%ක් දක්වා ඉහළ නංවා ඇත.

මේ අතර ලංකා රියැලිටි  ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමත් On’ally හෝල්ඩිංග්ස් හි ඉතිරි සුළුතර කොටස් හිමිකාරීත්වයත් කොටසක් රුපියල් 30.20 බැගින් අත්පත් කර ගැනීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අත්පත් කරගැනීම් සහ ඒකාබද්ධවීම් ක්‍රමවේදය යටතේ සිදු කිරීමට සැලසුම් කර ඇත. 

එහිදී මෙම කටයුතු නත්තල් දිනයේදී අවසන්වීමට නියමිතව තිබුණත් පවතින මෙම විමර්ෂණ කටයුතු නිසා මෙම දිනය කල් දැමීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව තීරණය කර ඇතැයිද සන්ඩේ ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් පවසයි.

Visits: 699