MTD Walkers අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරියේදී තවත් චෝදනා ඒවිලු?

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන MTD Walkers plc සමාගම සම්බන්ධයෙන් සිදු කරන විගණන පරීක්ෂාවෙන් අනතුරුව දැනටමත් චෝදනාවලට ලක්ව සිටින එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට තවත් චෝදනා රැසකටම මුහුණ දීමට වෙනු ඇතැයි වාර්තා වෙයි.

අද දිනයේදී පළ කෙරුණු සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ‘බිස්නස් ටයිම්ස්’ අංගය තුළ පුවතක් පළ කරමින් එම පුවත්පත මෙම කරුණු අනාවරණය කර සිටියි. කොළඹ කොටස් හුවමාරුවෙහි නියාමකයා වන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) මගින් පත් කරන ලද විගණන සමාගම මගින් මෙම විගණනය සිදු කෙරේ.

එහිදී MTD Walkers plc සමාගමේ වියදමින් සිදුකරන මෙම විගණනයේදී අදාළ විගණන සමාගම මගින් මේ වනවිටත් සමාගමේ ගනුදෙනු සම්බන්ධයෙන් ගැඹුරින් සොයා බලමින් සිටින බවද පුවත්පත පවසයි.

ඒ අනුව මෙම විගණන නිලධාරීන් අදාළ පරීක්ෂණය අවසානයේදී MTD Walkers plc සමාගම සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වෙත උපදෙස් දෙනු ඇතැයි සඳහන් වෙයි.

ඒ අනුව සමාගම මගින් සිදු කරන ලද Type B මාදිලියේ ණයකර නිකුතුවේ ගෙවීම් පැහැරහැරීම් , 2018-2019 මූල්‍ය වර්ෂය සඳහා නිකුත් කළ යුතු වාර්ෂික වාර්තාව ඉදිරිපත් නොකිරීම, 2019 ජූනි 30 වැනිදායින් පසුව අතරමැදි මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් නොකිරීම මෙන්ම MTD Walkers සමාගම සතුව තිබූ වත්කම් සහ අරමුදල් නිසි අභ්‍යන්තර පාලනයකින් තොරව අලෙවි කිරීම සහ හුවමාරු කිරීම යනාදිය එම චෝදනා අතර වන බව පැවසෙයි.

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් පසුගිය 2020 නොවැම්බර් 25 වැනිදා MTD Walkers සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ලිපියක් ලියමින් මෙම විගණනය පිළිබඳ කරුණු දක්වා තිබුණි.

එහිදී MTD Walkers සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරියා, ප්‍රධාන මූල්‍ය නිලධාරියා මෙන්ම කළමනාකරණ නිලධාරීන් සියලු දෙනාම අදාළ විගණනය සිදු කරන සමාගම වෙත පූර්ණ සහයෝගය ලබා දිය යුතු බවත් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සඳහන් කර තිබුණි.

ඒ අනුව සමාගමේ වාර්තා පොත් වල සඳහන් ව ඇති ව්‍යාපාර පිළිබඳව ඇති තොරතුරු කිසිවක් විනාශ කිරීමක්, ආවරණය කිරීමක්, වෙනස් කිරීමක්, ඉවත් කිරීමක්, සංශෝධනය කිරීමක් හෝ සිදු නොකළ යුතු බවත්, මෙම විගණනය සිදු කරන සමාගම වෙත ඉහත සඳහන් කළ නිලධාරීන් සියලු දෙනා පූර්ණ සහයෝගය ලබා දිය යුතු බවත් සඳහන් විය.

ඒ අනුව විශේෂ අවශ්‍යතාවක් යටතේ සිදු කරන විගණනයක් ලෙස සලකා එයට එකඟ විය යුතු බවත් පෙන්වා දී තිබූ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එම එකඟතාව යටතේම තමන් විසින් මෙම විගණනය සඳහා පත් කරන විගණන සමාගමේ වරලත් ගණකාධිකාරිවරුන්ගේ ගෙවීම් සම්බන්ධයෙන්ද MTD Walkers සමාගම වගබලා ගත යුතු බවත් සඳහන් විය.

මේ අතර, MTD Walkers සමාගම මගින් සිදු කරන ලද කොළඹ කොටස් හුවමාරුවෙහි රීති උල්ලංඝණය කිරීම් හතරක් සහ සුරැකුම්පත් විනිමය කොමිෂන් සභා පනතේ රීති අංක 06 උල්ලංඝණය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මීට පෙර MTD Walkers සමාගම වෙත රුපියල් මිලියන 36.3 ක සංයුක්ත ගාස්තුවක් පමුණුවා තිබුණි. ඒ අනුව එම සමාගම පසුගිය මාසයේදී එම ගාස්තුව ගෙවූ බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 324