හෙට දහවලේදී යුක්රේන සංචාරකයන් පිරිසක් මත්තලින් මෙරටට

යුක්රේනයේ ගුවන් සමාගම් දෙකක් මගින් හෙට (2020 දෙසැම්බර් මස 28) මත්තල මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලට යුක්රේනියානු සංචාරකයින් පිරිසක් රැගෙන ඒමට සූදානමින් සිටින බව පැවසෙයි.

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාගේ මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක කෙරෙන රුසියානු සහ  යුක්රේන සංචාරකයන් මෙරට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක වෙයි. 

ඒ අනුව යුක්රේනයේ Sky Up Airlines සහ Ukraine International Airlines (UIA) යන ගුවන් යානා මගින් මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණෙන බව උදයංග වීරතුංග මහතා සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබේ. ඒ අතරින් Sky Up Airlines ගුවන් යානය පස්වරු 2.14ට මත්තලට ළගා වීමට නියමිතව ඇත.

“Sky Up Airlines සහ Ukraine International Airlines (UIA) යන ගුවන් සමාගම් විසින් 2020 දෙසැම්බර් මස 28 වන දින සිට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලට යුක්රේනියානු සංචාරකයින් රැගෙන එන බව ලාංකික ඔබට සතුටින් දන්වා සිටිමි. යෝජිත ‘සංචාරක බුබුල’ (Travel Bubble) සංකල්පය යටතේ බේරුවල, බෙන්තොට, කොග්ගල යන නගර වල හදුනාගත් කලාපයක එකිනෙකට යාබද හෝටල් මුල් අදියරේදී තෝරාගෙන ඇත.” එහි සඳහන් වෙයි.

මෙහිදී, සංචාරකයින්ට හෝටලය සහ වෙරළ තීරය තුළ පමණක් සැරිසැරීමට අවසර ලැබෙන බවත්, සංචාරකයින්ට ප්‍රදේශවාසීන් සමඟ කිසිදු සම්බන්ධතාවයක් ඇති නොවන පරිදි සංචාරකයන්ට මෙන්ම ගම්වැසියන්ටද පීඩාකාරී නොවන ආකාරයට සැලසුම් කර ඇතැයිද උදයංග වීරතුංග මහතා සඳහන් කර සිටියි.

Visits: 124