ශ්‍රි ලංකාවේ තේ අපනයනයේදී අප්‍රිකාවෙන් තීරුබදු සහන දීමට අවධානය

ශ්‍රී ලංකා තේ සඳහා වසර තුනකට නොවැඩි කාලයකට තීරුබදු පහත හෙළීම සඳහා කෙරෙන ඉල්ලීම හැකි අයුරින්  සලකා බලන බව ශ්‍රි ලංකාවේ අප්‍රිකානු මහ කොමසාරිස් රොබීනා පී. මාර්ක්ස් මහත්මිය පැවසූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.

ඇය මේ බව සඳහන් කළේ ලක්ෂ්මන් කදිර්ගමාර් ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය (LKI), සංවිධානය කර තිබූ  ‘ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ව්‍යාපාර ප්‍රවර්ධන රැස්වීම’ ආමන්ත්‍රණය කරමිනි.

ශ්‍රි ලංකාවේ සේවය අවසන් කර ඉවත් වී යාමට පෙර පැවැති මෙම රැස්වීමේදී මෙරට ව්‍යාපාරික ප්‍රජාවෙන්  මහ කොමසාරිස් රොබීනා පී. මාර්ක්ස් මහත්මියගේ සේවය පිළිබඳ උණුසුම් සුබ පැතීමක්ද සිදු විය.

දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් අන්තර්ජාලය හරහා පැවැති මෙම රැස්විමේදී ශ්‍රී ලංකාව තුළ සිය වෙළඳ පියසටහන පුළුල් කිරීමට දකුණු අප්‍රිකාව සමත් වී සිටින බවත්, සමස්ත වෙළඳාම තම රටට වාසිදායක අන්දමින් විශාල වශයෙන් ඉහළ නැඟ ඇති බවත් මහ කොමසාරිස් මාර්ක්ස් මහත්මිය මෙහිදී සඳහන් කළාය. 

දකුණු අප්‍රිකාව යනු අප්‍රිකානු කලාපයෙන් ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන ප්‍රභවය වන අතර, අප්‍රිකානු කලාපයට කෙරෙන අපනයන අතරින් දෙවන විශාලතම අපනයන ගමනාන්තය වේ. දකුණු අප්‍රිකාවෙන් කෙරෙන ආනයන බොහෝ දුරට ගල් අඟුරු වන අතර, ශ්‍රී ලංකාවෙන් කෙරෙන අපනයන තොග වශයෙන් තේ, ඇඟලුම් සහ රබර් නිෂ්පාදන වේ.

කොවිඩ්-19 අතරතුර ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් මහ කොමසාරිස්වරිය, ශ්‍රී ලංකාව තුළ සිය වෙළඳ උපායමාර්ගය නැවත සකස් කිරීමේ අවශ්‍යතාවය සහ දෙරට අතර වඩාත් සමබර වෙළඳ සම්බන්ධතාවයක් සඳහා පවතින අපේක්ෂාව අවධාරණය කර තිබේ.

සෑම රටක් සඳහාම සිය ජාතික අවශ්‍යතා වැදගත් වුවත්, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර වඩාත් සමබර වෙළඳාමක් අප හට අවශ්‍ය බවත් මෙම ද්විපාර්ශ්වික සම්බන්ධතාවයේ දී එකිනෙක රටවලට යමක් ලබා දිය හැකි පදනම මත අප දෙරටම ක්‍රියා කළ යුතු බවත් තවදුරටත් අදහස් දක්වමින් ඇය පවසා සිටියාය.

ආයෝජන සම්බන්ධයෙන් ගත් කල, ජාත්‍යන්තර සිල්ලර වෙළඳ සන්නාමයක් වන SPAR, දකුණු අප්‍රිකාවේ SPAR සමූහය සහ සිලෝන් බිස්කට් සමාගම අතර හවුල් ව්‍යාපාරයක් හරහා ශ්‍රී ලංකාවේ අලෙවිසැල් 4 ක් විවෘත කර ඇති අතර, සිල්ලර වෙළඳසැල් 20 ක් දක්වා ව්‍යාප්ත කිරීම සඳහා සැලසුම් කොට ඇති බවද මහකොමසාරිස් වරිය මෙහිදී අනාවරණය කර තිබේ.

මෙම රැස්වීමේ දී, මහ කොමසාරිස් මාර්ක්ස් මැතිනිය දකුණු අප්‍රිකාවට මත්ස්‍ය අපනයනය ඉහළ නැංවීමේ හැකියාව, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ අගය එකතු කිරීම සහ දැනුම හුවමාරු කර ගැනීම, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ අවස්ථා සහ ටින්වල ඇසුරුම් කිරීමේ කර්මාන්තයේ ආහාර සංරක්ෂණය සඳහා විශේෂඥ දැනුම බෙදාහදා ගැනීම පිළිබඳව ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයින් සමඟ අදහස් හුවමාරු කර ගත්තාය.

මෙම අන්තර්ජාලය හරහා පැවති රැස්වීම, විදේශ අමාත්‍ය සහ ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා හා උපාය මාර්ගික අධ්‍යයන ආයතනයේ සභාපති ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ඉල්ලීම පරිදි සංවිධානය කරන ලද අතර, එම ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජික සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති කෝසල වික්‍රමනායක මහතා, වෙස්ග්‍රෝ සමාගමේ, ආසියාව සඳහා රටේ කළමනාකරු බෙන්ජමින් ජෝර්ඩන් මහතා, වෙස්ග්‍රෝ සමාගමේ ජාත්‍යන්තර වෙළඳ සංවර්ධන කළමනාකරු නාඩින් ස්මිත් ක්ලාක් මහත්මිය, ටෙස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශිරාන් ප්‍රනාන්දු මහතා, සේෆිර් කැපිටල් සමාගමේ සභාපති ආර්මිල් සම්මූන් මහතා සහ රන්ෆිකා සමූහයේ අලෙවිකරණ අධ්‍යක්ෂ, රුවිනිකා කිනිගම මහත්මිය ඒ සඳහා සහභාගී වී තිබේ.

Visits: 241