ලෙබනනයට ගිය චන්දනාලේප ආයුර්වේද නිෂ්පාදන

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ සංජීවක ආයුර්වේද නිෂ්පාදන (පුද්ගලික) සමාගම සමඟ එක්ව, චන්දනාලේප නිෂ්පාදන පෙළ ලෙබනනයේ බේරූට් සහ මවුන්ට් ලෙබනන් හි වාණිජ, කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලයේ (CCIBML) රෆික් හරිරි ශාලාවේදී පසුගියදා දියත් කෙරුණු බව පවසයි. ශ්‍රී ලංකා – ලෙබනන් ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා වැඩි දියුණු කිරීමේ අරමුණින් යුතුව මෙම කටයුතු සිදුව තිබේ.

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති ශානි කල්‍යාණරත්න කරුණාරත්න මැතිනියගේ මඟ පෙන්වීම යටතේ, චන්දනාලේප සඳහා පත් කරන ලද එකම නියෝජිතයින් වන ලෙබනනයේ සිල්වා නෝමේනියන් මහත්මිය සහ ටී. මල්කාන්ති සිල්වා මහත්මිය සමඟ චන්දනාලේප ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන ලෙබනනයට ආනයනය කිරීම ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැරූ ප්‍රයත්නය මෙලෙස ඵලදරා ඇතැයි අමාත්‍යාංශය පවසයි

මෙම අවස්ථාව සඳහා ලෙබනනයේ හයාත් අර්ස්ලාන් කුමරිය, කීර්තිමත් ආරාධිතයින් සහ රාජ්‍යතාන්ත්‍රිකයින් ඇතුළු බොහෝ සම්භාවනීය පුද්ගලයින් සහභාගී වී තිබේ. සංජීවක ආයුර්වේද නිෂ්පාදන (පුද්ගලික) සමාගමේ විකාසනය පිළිබඳ වීඩියෝවක් ද මෙහි දී ප්‍රදර්ශනය කරන ලදී.

සංජීවක ආයුර්වේද නිෂ්පාදන (පුද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය පිලිප් නේරි මුල්ලෙගම මහතාගේ පටිගත කරන ලද අදහස් දැක්වීමක් මෙහිදී ඉදිරිපත් කර තිබේ. එහිදී ඔහු සභාපති රංජිත් ප්‍රේමතිලක මහතාගේ අඛණ්ඩ උත්සාහය පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් කථා කළ අතර, චන්දනාලේප නිෂ්පාදනවල අද්විතීය ගුණාත්මකභාවය සහ ලෙබනනයේ පුද්ගලික සත්කාර වෙළඳපොළට ප්‍රවේශ වීම සඳහා තානාපති කාර්යාලය සහ ලෙබනන්හි ව්‍යාපාර සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඔවුන් දක්වන කැමැත්ත ඉස්මතු කර ඇත.

රූපලාවණ්‍ය කටයුතුවල ප්‍රමිතීන් පිළිබඳ ප්‍රවීණයෙකු වන ජොහානා ගාලි මහත්මිය ශ්‍රී ලාංකික ආයුර්වේද නිෂ්පාදන සහ ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කර තිබේ.

මෙහිදී පළමු චන්දනාලේප නිෂ්පාදන තොගය තානාපති කරුණාරත්න මැතිනිය විසින් සිල්වා නෝමේනියන් මහත්මිය සහ ටී. මල්කාන්ති සිල්වා මහත්මිය වෙත නිල වශයෙන් භාර දී ම සිදුවිය. 

පළමු ලේකම් / දූත මණ්ඩල ප්‍රධානී චතුරි පෙරේරා මහත්මිය, දෙවැනි ලේකම් ටී. ලක්ෂ්මිධරන් මහතා සහ තානාපති කාර්යාලයේ සියලුම කාර්යය මණ්ඩලය මෙම අවස්ථාව සඳහා සහභාගී වී ඇත.

Visits: 98