“රුපියලේ අනවශ්‍ය අවප්‍රමාණය පිළිගන්න බැහැ” – මහ බැංකුව

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියගේ වටිනාකම අඩු කරමින් විනිමය අනුපාතිකයේ උච්චාවචනයේ මෑතදී සිදු වූ ඉහළ යාම අනවශ්‍ය හා පිළිගත නොහැකි තත්ත්වයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව මෙම අනවශ්‍ය අවප්‍රමාණය වීම වළක්වා ගැනීම සඳහා මහ බැංකුව පියවර ගන්නා බව නිවේදනයක් මගින් සඳහන් කර සිටියි.

පසුගිය දෙසැම්බර් 24 වැනිදා නිකුත් කෙරුණු මහ බැංකු දෛනික විනිමය අනුපාත වටිනාකම් අනුවද එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 189 දක්වාද, විකිණුම් මිල රුපියල් 194.66ක් දක්වාද ඉහළ නැග තිබුණි.

මෙහිදී මහ බැංකුව වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත්, මෙතැන් සිට ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළෙහි මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇති බවත් පවසයි.

ඒ අනුව මෙම ක්‍රියාමාර්ගත් අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම අඛණ්ඩව ප වත්වා ගැනීමත් හේතුවෙන් ඉදිරි දින කි හිපය තුළදී විනිමය අනුපාතිකය 2020 නොවැම්බර් මස පැවැති එක්සත් ජනපද ඩොලරයට රුපියල් 185 වඩා අඩු මට්ටමකට අතිප්‍රමාණය වෙනු ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කර සිටියි.

මේ අතර අද වනවිට මහ බැංකුව සතු දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 5.6ක් බවත්, එම සංචිත මටට්ම ඉහළ නැංවීම සඳහා මහ බැංකුව දේශීය හා විදේශීය  හවුල්කරුවන් සමග පවත්වන සාකච්ඡාද සාර්ථකව අවසාන අදියරකට පැමිණෙමින් තිබෙන බවත් මහ බැංකුව පවසයි.

මෙම අපේක්ෂිත ලැබීම් සහ දේශීය නිෂ්පාදන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනය විදේශ විනිමය ලැබීම් ඉහල යෑමට හේතුවන බවත් , එමගින් ඉදිරි කාලයේදී විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය පවත්වා ගැනීමට හැකි වෙනු ඇති බවත් මහ බැංකුව පවසයි. එසේම එය ශ්‍රී ලංකාවේ ණය වගකීම් නියමිත පරිදි පියවීමට උපකාරී වනු ඇතැයිද මහ බැංකුව සඳහන් කරයි.

Visits: 300