කොටස් හුවමාරුව මල්ටි ෆිනෑන්ස් හි ගනුදෙනු අත්හිටුවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි මූල්‍ය සමාගම් යටතේ ලැයිස්තුගත සමාගමක් වන මල්ටි ෆිනෑන්ස් සමාගමෙහි ගනුදෙනු 2021 ජනවාරි 06 වැනිදා සිට අත්හිටුවීමට පියවර ගන්නා බව කොළඹ කොටස් හුවාමාරුව පවසයි. එහි ලැයිස්තුගතවීමේ රීති 7.5 (ඩී) (ii) යටතේ මෙම අත්හිටුවීම සිදුවන බවත් සඳහන් වෙයි.

දැනටමත් මල්ටි ෆිනෑන්ස් සමාගම එම  හුවමාරුවෙහි Watch List ලැයිස්තුව වෙත ඇතුළත්ව සිටියි. කොළඹ කොටස්  හුවමාරුවෙහි ලැයිස්තුගතවීමේ රීතීන් වෙත අනුකූලතාවක් නොදක්වන සමාගම් එහි 7 වැනි වගන්තිය යටතේ මෙලෙස Watch List ලැයිස්තුවට ඇතුළත් කෙරේ.

මෙහිදී මල්ටි ෆිනෑන්ස් සමාගම 2019 මාර්තු 31 වැනිදායින් අවසන් වූ වසර සඳහා විගණණය කරන ලද අවසන් ප්‍රකාශනයෙහි ස්වාධීන විගණකකරුන්ගේ වාර්තාව  ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම මෙලෙස Watch List ලැයිස්තුවට ඇතුළත්වීමට හේතුව ලෙස සැලකෙයි.

කෙසේ වෙතත් මල්ටි ෆිනෑන්ස් සමාගම 2021 ජනවාරි 05 හෝ ඊට පෙර කොටස් හුවමාරුව වෙත එම වාර්තාව ඉදිරිපත් කරමින් ඒ වෙත දැක්විය යුතු අදාළ අනුකූලතාව සම්පූර්ණ කර මෙම ගනුදෙනු අත්හිටුවීම වළක්වා ගැනීමේ හැකියාව ඇතැයිද කොළඹ කොටස්  හුවමාරුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලියාපදිංචි මූල්‍ය සමාගමක් වන මල්ටි ෆිනෑන්ස් පීඑල්සී සමාගම ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමට අයත් සමාගමකි. 1974 වසරේදී සමාගමක් ලෙස පිහටවුණු මල්ටි ෆිනෑන්ස් සමාගම 2011 වසරේදී කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගතවී තිබේ. 2017 වසරේ පෙබරවාරි මාසයේදී ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් සමාගම මගින් එය අත්පත් කර ගෙන ඇත.

මල්ටි ෆිනෑන්ස් සමාගම මේ වනවිට ස්ථාවර තැන්පතු, ඉතිරි කිරීම්, ලීසිං, ව්‍යාපාරික ණය, රන් ණය සහ ක්ෂුද්‍ර මූල්‍ය ඇතුළු සේවා සපයයි.

ක්ෂේත්‍ර රැසක් පුරා විහිදී ඇති ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම දේපළ වෙළෙදාම්, හෝටල්, මූල්‍ය සේවා, කසල කළමනාකරණය, ගුවන් සේවා, ගෘහ අලංකරණ සේවා, ගුවන්සේවා සහ ජෛවතාක්ෂණික යන ක්ෂේත්‍රයන්හි සමාගම් පවත්වාගෙන යයි.

මල්ටි ෆිනෑන්ස් පීඑල්සී සමාගමට අමතරව ලක්දෙරණ ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමද ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමේ මූල්‍ය සේවා සපයන සමාගම් අතර පවතී.

Visits: 253