ලබන වසරේ උද්භිද උද්‍යාන සංවර්ධනයට රුපියල් මිලියන 517ක්

ලබන වසර තුල මෙරට උද්භිද උද්‍යාන සංවර්ධනය සඳහා රුපියල් මිලයන 517ක් වෙන්කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. ඒ අනුව මේ යටතේ පේරාදෙණිය, ගම්පහ, හග්ගල, සීතාවක හා මිරිජ්ජවිල උද්භිද උද්‍යාන සංවර්ධනය කිරීමට නියමිතව තිබේ.

මෙරට ඇති සියලුම උද්භිද උද්‍යාන දෙස් විදෙස් සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාව බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. මෙවර උද්භිද උද්‍යාන සංචාරක අමාත්‍යංශය යටතට ඇතුලත් කර තිබේ. ඒ අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා පවසයි.

මේ අනුව පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ සංවර්ධනය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 177.1කි. ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය හා ගනේවත්ත වන ඖෂධ උද්‍යාන සංවර්ධනයට රුපියල් මිලියන 60.5ක මුදලක් වෙන් කර තිබේ. හග්ගල උද්භිද උද්‍යානය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 63.5ක්, මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානය සංවර්ධනය රුපියල් මිලියන 25.58ක්, සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය සංවර්ධනයට රුපියල් මිලියන 24.2ක් වෙන් ඇත.

එසේම මල් වගාකරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 47කි. මේ යටතේ  මල් වගාකරුවන් 5000කට පමණ අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට නියමිතව ඇත.

මීට අමතරව මීගලෑව හරිත පියස පුහුණු මධ්‍යස්ථානය, ශාඛාගාරය හා ශාඛා වර්ගීකරණය හා පර්යේෂණ වැඩසටහන සඳහා ද ප්‍රතිපාදන වෙන්කර තිබේ.

Visits: 84