රුපියලේ අවප්‍රමාණය ආයෝජක සිතැගි වෙනස් කරයි

අද දිනයේදී (දෙසැ 23) කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු තුළදී ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් සිදු කෙරුණු ගනුදෙනු බොහෝමයක්ම දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම බැංකු තැන්පතු සඳහා තවදුරටත් පවතින අඩු පොළී අනුපාත හේතුවෙන් කොටස් මිලදී ගැනීම සඳහා වන ආයෝජක ආකර්ෂණය කෙරෙහිද වැඩි උනන්දුවක් දැකගත හැකි වී තිබේ. කෙසේ වෙතත් එළැඹෙන නිවාඩු දින කිහිපය මෙන්ම ඩොලරයට සාපේක්ෂව රුපියලේ සිදු වූ අවප්‍රමාණය වීම යන කාරණා ආයෝජකයන්ගේ සිතැගි වෙත දැඩිව බලපෑ බවද එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 6,616.40ත් ඒකක 6,644.15ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI)  දිනය නිමා වනවිට එය ඒකක 6,629.02 ක් බවට පත්විය. ඊයේ (දෙසැම්බර් 22) දිනයට සාපේක්ෂව එය ඒකක 5.90 ක් එනම් -0.09%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව වැලිබල් වන් පීඑල්සී, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සිදු කළ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 6%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 84ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 95ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+4.76), ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+2.6),  ටීජේ ලංකා පීඑල්සී TJL (+1.93),  නෙස්ලේ ලංකා පීඑල්සී NEST (+1.77),  ඩීසල් ඇන්ඩ් මෝටර් ඉන්ජිනියරිං පීඑල්සී DIMO (+1.52),  මෙල්ස්ටාකෝර්ප්  පීඑල්සී  MELS (-2.93),  ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-2.72), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී  CTC (-2.31),  එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-2.24), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-2.11)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,574.73 ක අගයක් ගත් අතර, එය ඊයේ (දෙසැම්බර් 22) දිනයට සාපේක්ෂව ඒකක 9.90 ක එනම් -0.38%ක පහළ යාමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.72ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (දෙසැ 22දා) වාර්තා කළ රුපියල් බිලියන 5.84ට සාපේක්ෂව 54% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.89 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 1.6%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 82.83ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 484.79ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 401.95කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 50.79ක් ලෙස සටහන්ව තිබේ.

දිනය තුළ විදේශයන්හි සිට විදේශයන් දක්වා සිදු වූ ගනුදෙනුවල වටිනාකම රුපියල් මිලියන 79.91කි.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 1.16කි. එසේම සීටී හෝල්ඩිංග්ස් පීඑල්සි විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 158.49ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 713ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 26% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ නිෂ්පාදන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 663ක සහ රුපියල් මිලියන 297ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 373