ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක්ස් විසින් හයිඩ්‍රාමනී සමූහයේ H One මිලදී ගනී

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක්ස් පෞද්ගලික සමාගම මගින් මෙරට මුල් පෙළේ මයික්‍රොසොෆ්ට් සේවා විසඳුම් සම්පාදකයෙකු වන H One පෞද්ලික සමාගමේ පූර්ණ හිමිකාරීත්වය අත්පත් කරගැනීමට කටයුතු යොදා ඇතැයි පවසයි.

කොටස් අලෙවි සය මිලදී ගැනීමේ එකඟතාවක් යටතේ මෙම අත්පත් කරගැනීම සිදුව තිබේ. මෙහිදී  රුපියල් මිලියන 300ත් 350ත් අතර මුදලකට මෙම ගනුදෙනුව තීන්දු වී ඇතැයි සඳහන් වෙයි. ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම පවසන ආකාරයට මෙම ගනුදෙනුව 2021 ජනවාරි මාසය අවසන් වීමට පෙරාතුව සම්පූර්ණ කිරීම සැලසුම වී ඇත.

2008 වසරේදී පිහිටවුණු H One පෞද්ගලික සමාගම හයිඩ්‍රාමනී සමූහ ව්‍යාපාරයේ පරිපාලිත සමාගමක් ලෙස ක්‍රියාත්මක වෙයි. එම සමාගම මේ වනවිට ශ්‍රී ලංකාව තුළ මයික්‍රොසොෆ්ට් සමාගමේ ව්‍යාපාර විසඳුම් අලෙවියේ දැවැන්තම අලෙවිකරුවකු ලෙස කටයුතු කරයි. සමාගමේ වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 1.6 කි.

මෙම අත්පත් කරගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වා සිටින ඩයලොග් ආසිආටා පීඑල්සීහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා, “ඩයලොග් මගින් H One සමාගම අත්පත් කරගැනීමට හැකි වීම  ඩයලොග් සමාගමේ ව්‍යාපාරික විසඳුම් ලබා දීම් තවදුරටත් පුළුල් කිරීමේ කටයුත්ත සඳහා වන ඌනපූර්ණය සපුරාවි. ඒ හරහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිණාමනය වේගවත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට හැකි වේවි.” යනුවෙන් පවසා සිටියි.

මෙහිදී අදහස් දක්වන හයිඩ්‍රාමනී සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ රනිල් පතිරණ මහතා, “H One කියන්නේ ශ්‍රී ලංකාව තුළ මයික්‍රොසොෆ්ට් සේවා සම්පාදකයන් අතර ප්‍රමුඛයෙක්. සමාගම විසින් මේ දක්වා රටෙහි මුල් පෙළේ සමාගම් වෙත නවෝත්පාදන විසඳුම් ලබා දී තිබෙනවා. අද දිනය දක්වා සමාගමේ අභිවෘද්ධිය සඳහා දායකත්වය ලබා දුන් අඛණ්ඩ වර්ධනය සහ නවෝත්පාදන තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට ඩයලොග් සමාගම කටයුතු කරාවි යැයි අප විශ්වාස කරනවා. හයිඩ්‍රාමනී සමූහය තවදුරටත් H One හි සාර්ථකත්වය වෙනුවෙන් සහාය දක්වනවා.” යනුවෙන් පවසා සිටියි.

මෙම 100%ක අත්පත් කරගැනීමත් සමගින්ම H One පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය සහ කණ්ඩායම ඩයලොග් පවුලේ සාමාජිකයන් බවට පත්වන බවත් සඳහන් වෙයි.

Visits: 357