ජයන්ත ධර්මදාසගේ පුත් හර්ෂිත් නේෂන් ලංකා ෆිනෑන්ස් උප සභාපති ධුරයෙන් ඉවත් වෙයි

නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ උප සභාපති/අධ්‍යක්ෂ (විධායක නොවන) ලෙස කටයුතු කළ හර්ෂිත් ධර්මදාස මහතා එම ධුරයෙන් ඉවත්වී ඇතැයි සමාගම පවසයි. 2020 දෙසැම්බර් 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවත්වීම සිදුව තිබේ.

ඒ මහතා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තුළ වසර නවයක කාලයක් ධුරය දැරීම මේ සඳහා හේතුව බව නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම  සඳහන් කරයි. 2011 මාර්තු මාසයේ 11 වැනිදා ඒ මහතා සමාගම හා සම්බන්ධ වී ඇත.

හර්ෂිත් ධර්මදාස මහතා මෙලෙස උප සභාපති ධුරයෙන් ඉවත්වන අවස්ථාව වනවිට නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටස් 235,861,375ක හිමිකාරීත්වයක් පවතින බවත් සමාගම පවසයි. ඒ අතරින් කොටස් 94,274,100ක් ඒ මහතාගේ තනි හිමිකාරීත්වය සහිත වන බවත්, ඉතිරි කොටස් 141,587,275 පෑන් ඒෂියා බැංකුව හා හවුලේ පවතින කොටස් හිමිකාරිත්වයක් වන බවත් පැවසෙයි.

හර්ෂිත් ධර්මදාස මහතා නවලෝක සමූහ ව්‍යාපාරයේ වත්මන් සභාපති දේශමාන්‍ය ජයන්ත ධර්මදාස මහතාගේ පුත්‍රයාද වෙයි. ධර්මදාස මහතා නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ අනුශාසකවරයෙකු (විධායක නොවන) ලෙසද  කටයුතු කරයි. ජයන්ත ධර්මදාස මහතාද නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සම්බන්ධ වී ඇත්තේ 2011 මාර්තු මාසයේ 11 වැනිදාය.

මේ අතර නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම සහ සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම් ඉදිරියේදී ඒකාබද්ධවීම සඳහා වන සාකච්ඡාද මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබේ. මෙරට මුදල් සමාගම් මගින් පවත්වා ගත  යුතු අවම ප්‍රාග්ධන අවශ්‍යතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ලබා දී ඇති උපදෙස් අනුව මෙම ඒකාබද්ධවීම සිදුවීමට යන බවත් පැවසෙයි.

Visits: 211