ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් – ආර්පිකෝ ෆිනෑන්ස් ඒකාබද්ධයට මහ බැංකු අනුමැතිය

ආර්පිකෝ ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම සහ ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම අතර යෝජනා වී තිබූ  ඒකාබද්ධ වීම සඳහා අනුමැතිය ලබා දීමට ශ්‍රී ලංකා මහ  බැංකුව කටයුතු යොදා ඇතැයි එම සමාගම් පවසයි.

ඒ අනුව මෙම ඒකාබද්ධවීමත් සමගින්ම ඉදිරියේදී සමාගම් දෙක එක් තනි සමාගමක් බවට පත්වන අතර, එය ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ලෙස ඉදිරියට ක්‍රියාත්මක වන බවත් පැවසෙයි. මෙම ඒකාබද්ධවීම 2021 මාර්තු 31 වැනිදා වන විට සම්පූර්ණ කිරීම අනිවාර්යය වී තිබේ.

එසේම මෙම ඒකාබද්ධවීමත් සමගින්ම ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටස් ලැයිස්තුගත කිරීම සම්බන්ධයෙන් වන කොළඹ කොටස් හුවමාරුවේ අනුමැතිය හිමිවීමෙන් අනතුරුව මෙම ඒකාබද්ධවීම සම්බන්ධ කරුණු ඉදිරිපත් කරන බවත්, ලැයිස්තුගත වීමේ රෙගුලාසි සහ කොටස්හිමිකරුවන්ගේ අනුමැතියන් විශේෂ යෝජනාවක් යටතේ මේ සඳහා හිමිවිය යුතුව ඇති බවත් සමාගම් පවසා සිටියි.

ඒ අනුව මෙහිදී ඇති කරගෙන තිබෙන එකඟතාවයට අනුව කොටස්හිමිකරුවන් සතු ආර්පිකෝ ෆිනෑන්ස් පීඑල්සීහි සෑම සාමාන්‍ය කොටස් 100ක් සඳහාම ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් හි සාමාන්‍ය කොටස් 76ක් හිමිවන බවත් පැවසෙයි.

Visits: 278