කොවිඩ් එන්නත ගෙන ඒම සම්බන්ධීකරණ බලය ජනපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංගට

කොවිඩ්-19 වළකන එන්නත මෙරටට කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය සඳහා වන බලතල ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාට පැවරීමට ජනපතිවරයා තීරණය කර ඇතැයි ජනපති කාර්යාලය පවසයි.

අද ජනාධිපති කාර්යාලයේදී පැවැති දෛනික කොවිඩ් සාකච්ඡාවේදී ජනපතිවරයා මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව කොවිඩ් එන්නත කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ජනාධිපතිතුමා කොවිඩ් කමිටුවේ අවධානයට යොමු කළ බව සඳහන් වෙයි.

එහිදී ඇමරිකාව, එංගලන්තය, චීනය ප්‍රමුඛ රටවල් කිහිපයක් කොවිඩ් එන්නත් නිපදවා ඇති බවත්, එම එන්නත් පිළිබඳ සවිස්තර අධ්‍යයනයකින් පසු අදාළ රටවල් සහ මෙරට සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කොට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය සඳහා ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාට මෙලෙස බලය පවරා තිබේ.

එසේම එන්නත ලබාදිය යුතු කණ්ඩායම් අවශ්‍යතාව සහ ප්‍රමුඛතාව අනුව තීරණය කෙරෙන බවත්, වතු, මහල් නිවාස, නේවාසිකාගාර  ඇතුළුව රෝගය පැතිරයාමේ වැඩි අවදානමක් ඇති ස්ථාන සහ කණ්ඩායම් පිළිබඳව දත්ත  රැස් කිරීමට ද තීරණය කෙරුණු බවත් ජනපති කාර්යාලය පවසයි..

සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය ඇමතිණි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහූ, ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා නිලධාරීහූ සහ කොවිඩ් කමිටුවේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව තිබේ.

Visits: 85