මිලියන 300ක ආයෝජනයකින් කන්තලේ සීනි කම්හල 2023 දී යළි ඇරඹීමට යයි

කන්තලේ සීනි කම්හල වෙත සිදු කරන එක්සත් ජනපද ඩොලර් මිලියන 300ක ආයෝජනයක්ද සමගින් වසර 2023 දී  එහි නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරීමේ අවස්ථාවක් පවතින බව එම ආයෝජනය සිදු කරන සීමාසහිත එම්.ජී. සීනි ලංකා පෞද්ගලික සමාගම පවසයි.

රජය වෙත 51%ක කොටස් හිමිකාරීත්වයක් සහිත සමාගමක් ලෙස  මෙම එම්.ජී. සීනි ලංකා පෞද්ගලික සමාගම ක්‍රියාත්මක වන්නකි. ඒ අනුව ඉදිරියේදී මෙම සමාගම මගින් කන්තලේ සීනි සමාගමට අයත් භූමිය ඇතුළු අනෙකුත් වත්කම් කල්බදු පදනමක් යටතේ තමන් වෙත අත්පත් කරගැනීමටද කටයුතු යොදා තිබෙන බවත් සඳහන් වෙයි.

මෙම සීමාසහිත එම්.ජී. සීනි ලංකා පෞද්ගලික සමාගමේ ඉතිරි 49%ක කොටස් හිමිකාරීත්වය සීමාසහිත එස්එල්අයි ඩිවලොප්මන්ට් පෞද්ගලික නම් සමාගමක් වෙත හිමිව තිබේ. බ්‍රිතාන්‍යයේ පිහිටි ආයෝජකයන් වන මොයුසි සලීන් මහ මැන්ඩෙල් ග්ලුක් යන දෙපළ එහි නියෝජිතයන් ලෙස කටයුතු කරයි.

2015 වසරේදී පිහිටුවා ඇති මෙම එම්.ජී. සීනි ලංකා පෞද්ගලික සමාගමේ ප්‍රධානීන්ට අනුව පසුගිය පාලන සමයේදී කන්තලේ සීනි කර්මාන්තශාලාව යළි නගා සිටුවීමේ උත්සාහයන් වෙත බොහෝ බාධාකිරීම්වලට මුහුණ දෙන්නට සිදු වූ බවත් සඳහන් වෙයි.

එහෙත් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් රජය මෙම ආයෝජන ව්‍යාපෘතිය සඳහා කැමැත්ත පළ කර ඇති බවත්, සීනි කර්මාන්තශාලාවේ මෙහෙයුම් 2023 වසරේදී ඇරඹීමට හැකියාව ලැබෙනු ඇති බවත් සමාගම සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම කර්මාන්තශාලාවේ වත්කම් අත්පත් කරගැනීමේ කල්බදු එකඟතාව නත්තලට පෙර ඇති කරගත යුතුව ඇති බවත්, එසේ නොවුණහොත් ව්‍යාපෘතිය නිසි කලට ආරම්භ කිරීමට නොහැකි වී සිදුවන පමාව හේතුවෙන් අමතර පිරිවැයක් දැරීමට සිදුවනු ඇති බවත් එම්.ජී. සීනි ලංකා පෞද්ගලික සමාගම සඳහන් කර තිබේ.

“මේ ඉලක්ක සාර්ථක කරගන්න නම් නත්තලට පෙර මේ කර්මාන්තශාලාවේ කල්බදු එකඟතාව අපට හිමිවිය යුතුයි. ඒ හරහා අපගේ කණ්ඩායමට මේ භූමියේ සිදු කළ යුතු සූදානම් කිරීම් ජනවාරි මාසය ආරම්භයත් සමගින්ම සිදු කරන්න පුළුවන්. එය අපගේ ඉලක්කගත දින සම්පූරෟණ කරන්න වඩාත් වැදගත් වේවි. මේ කර්මාන්තශාලාව අපට භාරදීමේ කටයුතු නත්තලට පසුවටත් කල්යනවා කියන්නේ මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම වසර 2024 දක්වා කල්යනවා කියන එකයි. ඒ හරහා වෙන්නේ ව්‍යාපෘතියේ පිරිවැය ඉහළ යාමයි.” සමාගමේ නිලධාරියෙකු එලෙස පවසා ඇත.

සමාගම පවසන ආකාරයට මෙම ඩොලර් මිලියන 300ක ආයෝජනය යටතේ ඩොලර් මිලියන 100ක් ලබන වසරේදී ආයෝජනයට සැලසුම් කර ඇත. ඒ හරහා දේශීය වෙළෙඳ පොළ වෙත සීනි ටොන් 80,000ක් නිපදවන බවත්, ඒ හරහා වාර්ෂිකව සිදු කරන සීනි ආනයනය සඳහා වැය කෙරෙන ඩොලර් මිලියන 50ක මුදල ඉතිරි කර ගැනීමට හැකිවන බවත් සමාගම පවසා සිටියි.

1960 වසරේදී එවකට පැවැති චෙකොස්ලෝවැකියා රාජ්‍යයේ ප්‍රදානයක් යටතේ මෙම කන්තලේ සීනි කර්මාන්තශාලාවේ කටයුතු ආරම්භ කෙරුණු අතර 1986 වසර දක්වාම එය රජයට අයත් ලාභදායී ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම සිදු විය. එහෙත් 1993 වසරේදී අලාභ ලැබීමත් සමගම කර්මාන්තශාලාව වසා දැමුණු අතර ඒ වන විට එමගින් වාර්ෂිකව ටොන් 16,320ක සීනි නිපදවීම සිදු කර ඇත. එසේම ටොන් 9,000ක උක් පැණි නිපදවීමක්ද සිදු කර ඇති අතර ලීටර් මිලියන 3.9ක ප්‍රතිශෝධිත මධ්‍යසාර නිපදවීමක් සිදු කර ඇත.

ඒ අනුව ඉදිරියේදී මෙම කර්මාන්තශාලාව මගින් එතනෝල් නිෂ්පාදනයටද සැලසුම් සකස් කර ඇති බව  පවසන එම්.ජී. සුගර් පෞද්ගලික සමාගම ඒ හරහා දේශීය මත්පැන් කර්මාන්තය වෙත අවශ්‍ය එතනෝල් සැපයීම සිදු කළ හැකි බවත්, ඒ හරහා එතනෝල් ආනයනය වළක්වා විදේශ විනිමය ඉතිරි කරගැනීමේ රජයේ වැඩපිළිවෙලට සහාය දිය හැකි බවත් පවසා ඇත. මීට අමතරව මෙම පරිශ්‍රය තුළ මෙගාවොට් 27.5ක ජෛවස්කන්ධ විදුලි බලාගාරයක් පිහිටුවීමටත්, ඒ හරහා ජාතික පද්ධතිය වෙත මෙගාවොට් 10ක විදුලි බලයක් නිපදවීමටද අදහස් කරගනෙ සිටින බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 274