බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමස්ත පිරිවැටුමට 51% ක දායකත්වයක් දෙයි

අද දිනයේදී (දෙසැ 22) කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භයේදී යම් පසුබැසීමක් පෙන්නුම් කළද බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සහ බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී යන සමාගම් සඳහා ලැබුණු ඉහළ ගැනුම්බරතාව වෙළෙඳ පොළ කෙරෙහි වූ ආයෝජක විශ්වාසය ඉහළ දැමීමට හේතු වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම ඊයේ දිනයේදී මෙන් අද දිනයේදීද ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය වෙත එකතුවුණු සමාගම් සඳහා වන ආයෝජන ආකර්ෂණය ඉහළ යාමත් දර්ශක අගයන් ඉහළ යාමට හේතු වූ බවත් එම සමාගම් සඳහන් කරයි.  

ඒ අනුව අද දිනයේදී ඒකක 6,624.71ත් ඒකක 6,648.72ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI)  දිනය නිමා වනවිට එය ඒකක 6,634.92 ක් බවට පත්විය. ඊයේ (දෙසැම්බර් 21) දිනයට සාපේක්ෂව එය ඒකක 12.21 ක් එනම් +0.18%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී සිදු කළ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 51%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 91ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 90ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+5.1), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+3.3),  සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+3.1),  බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (+2.5),  එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+2.2),  ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී  JKH (-4.5),  කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-2.9), නෙස්ලේ ලංකා පීඑල්සී  NEST (-2.3),  එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී SPEN (-1.6), කාර්සන්ස් කුම්බර්බැච් CARS (-1.4)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,584.63 ක අගයක් ගත් අතර, එය ඊයේ (දෙසැම්බර් 21) දිනයට සාපේක්ෂව ඒකක 4.42 ක එනම් +0.17%ක ඉහළ යාමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.84ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (දෙසැ 21දා) වාර්තා කළ රුපියල් බිලියන 2.6ට සාපේක්ෂව 125% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.9 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 1.69%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 115.4ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 272.7ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 157.4කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 50.39ක් ලෙස සටහන්ව තිබේ.

දිනය තුළ විදේශයන්හි සිට විදේශයන් දක්වා සිදු වූ ගනුදෙනුවල වටිනාකම රුපියල් මිලියන 87.29කි.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඒසීඑල් කේබල්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 10.7කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සි විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 111.7ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 3,687ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ නිෂ්පාදන අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 63% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 714ක සහ රුපියල් මිලියන 599ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 245