හිටපු අගවිනිසුරු කේ. ශ්‍රීපවන් කොමර්ෂල් බැංකුවේ සභාපති ධුරයට

කොමර්ෂල් බැංකුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ. ශ්‍රී පවන් හෙවත් කනගසභාපති ශ්‍රී පවන් මහතා නම් කර ඇතැයි බැංකුව නිවේදනය කරයි. ලබන දෙසැම්බර් 21 වැනිදා ඒ මහතා මෙම ධුරයේ වැඩභාරගැනීමට නියමිතව තිබේ. ආසන්න මාස කිහිපයේදී කොමර්ෂල් බැංකුවේ සභාපති ධුරය දැරූ ධර්ම ධීරසිංහ මහතාට පසුව කේ. ශ්‍රීපවන් මහතා බැංකුවේ සභාපති ධුරයට පත්වීමට නියමිතව ඇත.   

කේ ශ්‍රීපවන් මහතා 2015 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා ලෙස පත් වුණු අතර 2017 මාර්තු මාසය දක්වා ඔහු එම ධුරය දැරීය. එම කාලසීමාවේදී ඒ මහතා ශ්‍රී ලංකා අධිකරණ සේවා කොමිෂමේ සභාපතිවරයා, නීති අධ්‍යාපනය පිළිබඳ සංස්ථාපිත කවුන්සිලයේ සභාපතිවරයා, ශ්‍රී ලංකා විනිසුරුවරුන්ගේ ආයතනයේ සභාපතිවරයා මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ කළමනාකරණ මණ්ඩලයේ සභාපති යන ධුරයන් දැරීය.

1977 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරයෙකු ලෙස දිවුරුම් දී ඇති කේ. ශ්‍රීපවන් මහතා 1992 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයෙන් කර්මාන්ත නීතිය පිළිබඳ ඩිප්ලෝමාවක්ද, 1994 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ උසස් උපාධියක්ද හිමිකරගෙන තිබේ.

Visits: 165