වසර අවසානය සහ කොවිඩ්-19 සිදුවීම් ඉහල යාම දර්ශක අගයන් පහළ දමයි

අද දිනයේදී (දෙසැ 18) කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු තුළදී ආයෝජකයන් තුළ මන්දගාමී ගනුදෙනු රටාවක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම වසර අවසානයේ නිවාඩු දින පැමිණීමත්, රට තුළ කොවිඩ්-19 ආසාදිතයන්ගේ වර්ධනයත් යන කාරණා නිසා මෙලෙස ආයෝජක වඩාත් කල්පනාකාරීව ගනුදෙනු වෙත පිවිසීමක් දක්නට ලැබී තිබේ. කෙසේ වෙතත් මැදිකාලීනය සහ දිගුකාලීව ඉදිරිපත්ව ඇති ආර්ථික පුරෝකතන හේතුවෙන් ආයෝජකයන් තුළ පවතින විශ්වාසය වෙළෙඳ පොළ  මිල මට්ටම් යම් ඉහළ අගයකින් පවත්වාගෙන යාමට දායක වී ඇතැයිද මෙම සමාගම් සඳහන් කරයි.  

ඒ අනුව අද දිනයේදී ඒකක 6,610.78ත් ඒකක 6,645.40ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI)  දිනය නිමා වනවිට එය ඒකක 6,616.95 ක් බවට පත්විය. ඊයේ (දෙසැම්බර් 17) දිනයට සාපේක්ෂව එය ඒකක 7.20 ක් එනම් -0.11%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව කොමර්ෂල් බැංකුව, මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සහ ටීජේ ලංකා පීඑල්සී යන සමාගම් සිදු කළ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 6%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 84ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 94ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+3.29), ඩිස්ටිලර් කම්පැනි  ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+3.16),  ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+2.6),  එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+2.24),  එච්එන්බී ෆිනෑන්ස්  පීඑල්සී HNBF (+1.63),  නෙස්ලේ ලංකා පීඑල්සී  NEST (-3.06),  හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (-3.00), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-2.49), ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීන් පීඑල්සී AHPL (-2.03), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.87)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,572.95 ක අගයක් ගත් අතර, එය ඊයේ (දෙසැම්බර් 17) දිනයට සාපේක්ෂව ඒකක 10.06 ක එනම් -0.39%ක පහළ යාමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.72ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (දෙසැ 17දා) වාර්තා කළ රුපියල් බිලියන 4.44ට සාපේක්ෂව 61% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.9 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 1.42%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 109.97ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 269.33ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 159.35කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 50.25ක් ලෙස සටහන්ව තිබේ.

දිනය තුළ විදේශයන්හි සිට විදේශයන් දක්වා සිදු වූ ගනුදෙනුවල වටිනාකම රුපියල් මිලියන 66.01 කි

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය කොමර්ෂල් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 20කි. එසේම සිටී හෝල්ඩිංග්ස් පීඑල්සි විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 85.58ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 373ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 22% ක අගයක් ගෙන තිබේ. බැංකු සහ ප්‍රාග්ධන භාණ්ඩ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල්  මිලියන 296ක සහ රුපියල් මිලියන 288ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 142