දුම්රිය ස්ථාන ආශ්‍රිතව Q Shop දාම වෙළෙඳසල් ස්ථාපිත කීරීමට පියවර

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මගින් ක්‍රියාත්මක කරන Q-shop දාම වෙළෙඳසැල්  දුම්රිය ස්ථාන ආශ්‍රිතව ස්ථාපිත කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඒ සඳහා වන නිරීක්ෂණයක යෙදීමට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කටයුතු යොදා තිබේ. එහිදී පළමු පියවර ලෙස නාරාහේන්පිට දුම්රිය ස්ථානයේ සිට අවිස්සාවේල්ල දුම්රිය ස්ථානය දක්වා පිහිටි දුම්රිය ස්ථාන නීරීක්‍ෂණයට ලක් වී තිබේ.

මෙම Q Shop වෙළෙඳ සැල් දාමයේ පළමුවැන්න පසුගියදා කොළඹ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථා පරිශ්‍රයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරිණි. ගුණාත්මක භාවයෙන් ඉහළ රාජ්‍ය අංශයේ හා ස්වදේශික පෞද්ගලික නිෂ්පාදකයන්ගේ භාණ්ඩ සෘජුවම පාරිභෝගිකයා වෙත නිකුත් කරමින් තරුණ ව්‍යවසාකයින් සඳහා වෙළඳපොළ අවස්ථා නිර්මාණය කිරීම අරමුණ වී තිබේ.

ඒ අනුව දුම්රිය මගී ජනතාවට රජයේ දායකත්වයෙන් යුතුව ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ සාධාරණ මිළට භාණ්ඩ නිකුත් කිරීමේ පහසුව අරමුණු කරගනිමින් මෙම දුම්රිය ස්ථානයන් ආශ්‍රිතව පළමු Q-shop දාම වෙළෙඳසැල් ස්ථාපිත කිරිමට කටයුතු යොදන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

මෙම ව්‍යාපෘතියේ මූලික අදියර යටතේ රට පුරා Q-shop දහසක් (1000) ක් ආරම්භ කෙරෙන අතර, ඉන් පසුව 2024 වර්ෂය වන විට දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි Q-shop 14,000ක් ආරම්භ කිරීමට සැලසුම්  කර තිබෙන බව වෙළෙඳ අමාත්‍යාංශය මීට පෙර සඳහන් කර තිබුණි.

Visits: 84