2021 දී ඩො. බිලියන 2.5ක විදෙස් ආයෝජන අත්කරගැනීම රජයේ ඉලක්කයයි

ශ්‍රී ලංකාව 2021 වසරේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 2.5ක විදෙස් ආයෝජන ආකර්ෂණය කරගැනීමක් ඉලක්ක කරගෙන සිටින බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මෙරට ප්‍රමුඛ පෙළේ ආයෝජන උපදේශක සමාගමක් වන ඒෂියා සෙකියුරිටීස් සමාගම මගින් පසුගියදා කොළඹදී සංවිධානය කෙරුණු ආයෝජන වැඩසටහනක් වෙත එක්වෙමින් කබ්රාල් මහතා මේ පිළිබඳව සඳහන් කර තිබේ. සිව්වැනි වරටත් සංවිධානය කෙරුණු වැඩසටහන Asia Securities – Sri Lanka Investment Conference ලෙස නම් කෙරී තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති රාජ්‍ය අමාත්‍යවරයා කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් වන  එක්සත් ජනපද ඩොලර් බිලියනයක ආයෝජනයද එම විදෙස් ආයෝජන අතර පවතින බව සඳහන් කර තිබේ.

“ඒ වගේම හම්බන්තොට ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව කියන්නේ ඩොලර් මිලියන 300ක ආයෝජනයක්. ලබන වසරේදී ඊට තවත් ඩොලර් මිලියන 175ක ආයෝජන ලැබෙන්න තිබෙනවා. ඊට අමතරව යෝජිත ඖෂධ නිෂ්පාදන කර්මාන්ත කලාපය වෙත තවත් ඩොලර් මිලියන 200ක ආයෝජන හිමිවීමට නියමිතයි.” රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

මෙහිදී විශේෂයෙන්ම විදෙස් ආයෝජකයන්  මෙරටට ආකර්ෂණය කරගැනීම සඳහා තවදුරටත් වඩාත් ස්ථාවර සාර්ව ආර්ථික සැලසුමක් ඉදිරිපත් කිරීමටද ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බවත ඔහු පවසා තිබේ.

එහිදී කොළඹ වරාය නගරය මූලික කරගනිමින් විශේෂිත ආර්ථික කලාප නීතියක් හඳුන්වාදීමටද රජය බලාපොරොත්තුව සිටියි. ඒ අනුව එම උපායමාර්ගික ආයෝජන නීති රාමුව යටතේ ආයෝජකයන් වෙත ඉහළ බදු ප්‍රතිලාභයක් අත්කර දීම සැලසුම බවද රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා අවධාරණය කර ඇත.

මේ අතර කොවිඩ්-19 වසංගත තත්ත්වය වෙත වුවද ශ්‍රී ලංකාව ඉතාමක් හොඳින් මුහුන දී ඇතැයි මෙහිදී පවසා ඇති  රාජ්‍ය අමාත්‍යවරයා, ඒ හරහා බිහිව ඇති ‘නව සාමාන්‍ය’ තත්ත්වය වෙත ශ්‍රී ලංකාව හැඩගැසෙමින් පවතින බව තෙවැනි කාර්තුවේ දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිඵල හරහා පෙන්නුම් කරන බවත් සඳහන් කර තිබේ.

“ශ්‍රී ලංකාව ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අරමුදල් බලාපෙරොත්තු වෙන්නේ නෑ. 2021 වසර පුරාවටම  ශ්‍රී ලංකාව තමන් සතු සම්පත්වලින් ඒ කටයුතු සපුරා ගැනීමට බලාපොරොත්තු වෙනවා. එතැනදී බැංකු සහ මූල්‍ය සමාගම් අතර පුළුල් සම්බන්ධතාවක් දැකීමට අපට හැකි වේවි. ඒ හරහා වඩාත් ශක්තිමත් සහ ස්ථාවර ආයතන සමගින් රට ඉදිරියට යාමට හැකි වේවි. ඒ තුළින් තවත් ආයෝජන රටට පැමිණේවි කියලා අපි විශ්වාස කරනවා ” යනුවෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Visits: 240