රීජන්සි ටීස් (පෞද්) සමාගම හැටන් ප්ලාන්ටේෂන් පීඑල්සී හි කොටස් 12.28%ක් මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ කොටස් මිලියන 29ක් (29,065,923ක්) මිලදී ගැනීමට රීජන්සි ටීස් (පෞද්) සමාගම ඊයේ කටයුතු යොදා ඇතැයි පවසයි. ලෝටස් රිනීවබල් එනර්ජි පෞද්ගලික සමාගම සතුව පැවැති කොටස් මෙලෙස  අලෙවි කර තිබේ.

මෙහිදී අලෙවි වුණු කොටස් ප්‍රමාණය සමස්ත සාමාන්‍ය ඡන්ද  හිමි කොටස් අතරින් 12.28%ක ප්‍රතිශතයකි. මෙහිදී එක් කොටසක් රුපියල් 10 බැගින් අලෙවි වී ඇති අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 290 කි.

Hyleys සහ Lakma Tea Collections යන සන්නාමවල  හිමිකාරීත්වය සහිත රීජන්සි ටීස් (පෞද්) සමාගම 1997 වසරේදී පිහිටුවා තිබේ. අගය එකතු කළ නිෂ්පාදනයක් ලෙස වෙළෙඳ පොළ වෙත තේ බෑග් නිකුත් කිරීමේ ප්‍රමුඛ සමාගමක් වන එම සමාගම අද වනවිට ලොව පුරා රටවල් 25ක් වෙත සිය නිෂ්පාදන අපනයනය කරන බව පවසයි. එහිදී උතුරු ඇමෙරිකාව සහ නැගෙනහිර යුරෝපය සිය ප්‍රමුඛතම ගනුදෙනුකරුවන් බවත් පැවසෙයි.

ඒ අනුව රීජන්සි ටීස් (පෞද්) සමාගම මගින් හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම වෙත සිදු කළ මෙම ආයෝජනය සමාගම් දෙකටම වාසිසහගත අවස්තාවක් බවද වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

Visits: 233