පහළ වැටුණු ASPI අගයන් BIL සහ BRWN නිසා ඉහළ යයි

අද දිනයේදී (දෙසැ 16) කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භයේදීම වාර්තා වූ වසරේ දෙවැනි සහ තෙවැනි කාර්තු සඳහා වූ දළ ජාතික නිෂ්පාදිතයේ ඍණ වර්ධනය හේතුවෙන් ආයෝජකයන් තුළ පසු බැසීමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. කෙසේ වෙතත් බ්‍රවුන්ස් සමූහයට අයත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සහ බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී යන සමාගම්හි වටිනාකම් ඉහළ යාමත් සමගින්ම වැඩි වූ ආයෝජක විශ්වාසය නිසා දිනය නිමා වනවිට සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) පෙර දිනයට සාපේක්ෂව ඉහළ යාමට හේතු විය.

ඒ අනුව අද දිනයේදී ඒකක 6,636.03ත් ඒකක 6,666.61ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI)  දිනය නිමා වනවිට එය ඒකක 6,655.67 ක් බවට පත්විය. ඊයේ (දෙසැම්බර් 15) දිනයට සාපේක්ෂව එය ඒකක 23.78 ක් එනම් +0.36%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ පෑන් ඒෂියන් පවර් පීඑල්සී  සිදු කළ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 4%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 74ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 114ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+13.15), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+7.3),  බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (+5.6),  මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+3.47),  හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (+2.6),  කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-4.45),  ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-4.22), සීටී හෝල්ඩිංග්ස් පීඑල්සී CTHR (-2.3), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.87), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-1.34)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,602.69 ක අගයක් ගත් අතර, එය ඊයේ (දෙසැම්බර් 15) දිනයට සාපේක්ෂව ඒකක 5.18 ක එනම් -0.20%ක පහළ යාමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.44ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (දෙසැ 15දා) වාර්තා කළ රුපියල් බිලියන 2.52ට සාපේක්ෂව 36% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.91ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 2.01%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 100ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 193 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 93.81කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 50ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 12.5කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සි විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 71.9ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් බිලියන 1.32ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 38% ක අගයක් ගෙන තිබේ. ප්‍රාග්ධන භාණ්ඩ සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල්  මිලියන 940ක සහ රුපියල් මිලියන 319ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 257