‘Made in Sri Lanka යුගයක ඇරඹුම’ අද සිට

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) මගින් ‘Made in Sri Lanka යුගයක ඇරඹුම’ නමින් වැඩසටහනක් අද (දෙසැම්බර් 15) දිනයේ සිට ආරම්භ කරන බව පවසයි. මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ දිනයේදී කොළඹදී පැවැත්වුණි.

දේශීය ව්‍යවසායකයන්ට සිය නිෂ්පාදන නිසි වෙළෙඳපොළ ක්‍රියාදාමයකට රැගෙන යාමට නොහැකිවීමේ දිගුකාලීන අර්බුදයට පිළියමක් ලෙස ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) මගින් මෙම සුවිශේෂ වැඩපිළිවෙළ ආරම්භ කර තිබේ.

එමගින් දේශීය නිෂ්පාදන සඳහා ‘Made in Sri Lanka’ සන්නාමය ලබාදීමටත් ගුණාත්මක තත්ත්වයෙන් යුත් දේශීය නිෂ්පාදන දෙස්-විදෙස් වශයෙන් අලෙවි කිරීම සඳහා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමටත් නියමිත බවත් මෙම අවස්ථාවට සහභාගි වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා තිබේ.

ඒ අනුව අද (15) දින සවස 7:00ට ගෝල්ෆේස් හෝටල් පරිශ්‍රය තුළ, පවතින නිරෝධායන නීතිරීතිවලට අනුකූලව ‘Made in Sri Lanka යුගයක ඇරඹුම’ ක්‍රියාන්විතය එළිදැක්වීමට නියමිතව තිබේ.

මෙහිදී විශේෂයෙන් ‘Made in Sri Lanka’ ක්‍රියාන්විතය ඩිජිටල් මාධ්‍යයෙන් නිර්මාණය කෙරෙන කටයුත්තක් බවට පත් කිරිම අරමුණ වී ඇත. ඒ අනුව 100%ක්ම දේශීය අමුද්‍රව්‍ය යොදාගන්නා නිෂ්පාදනයකට ‘Made in Sri Lanka’ සන්නාමය එක් වර්ණයකිනුත් 70%ක් දේශීය අමුද්‍රව්‍ය යොදා ගන්නා නිෂ්පාදනයකට එම සන්නාමය වෙනත් වර්ණයකිනුත් 50% හෝ ඊට අඩු දේශීය අමුද්‍රව්‍ය යොදා ගන්නා නිෂ්පාදනයකට තවත් වර්ණයකිනුත් මෙම සන්නාමය ලබා දීම සිදු කෙරෙන බව අනාවරණය කෙරී ඇත.

එහිදී පිළිගත් විශේෂඥ කමිටුවක් පත් කර ඒ කමිටුව හමුවට ඉදිරිපත් කරන දේශීය නිෂ්පාදන පිළිබඳ තීරණ ගැනීමටද අමාත්‍යාංශය බලාපොරොත්තු තබා තිබේ. ඒ අනුව විශේෂඥ කමිටුවේ නිර්දේශය සහිතව අද දිනයේදී පැවැත්වෙන වැඩසටහනේදී සංකේතාත්මකව එවැනි නිෂ්පාදන 10කට ‘Made in Sri Lanka’ සන්නාමය ලබාදීමට නියමිතව ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, “දේශීය නිෂ්පාදකයන්ට වෙළෙඳ දැන්වීම් සඳහා විශාල පිරිවැයක් යෙදීමට බැහැ. ගුණාත්මක බවින් යුත් දේශීය නිෂ්පාදන පවා බහුජාතික සමාගම් සතු ‘වෙළඳ දැන්වීම් බලය’ හමුවේ මෙරට වෙළඳපොළ අවකාශය අත්පත් කර ගැනීමට නොහැකිව අසරණ වන අවස්ථා බොහෝයි. ඒ අයට ද ඔවුන් හමුවේ පවතින මේ අභියෝගය ජයගැනීමට රජයක් හැටියට දිය හැකි උපරිම සහයෝගය ලබාදීම සඳහායි මෙම ක්‍රියාන්විතය හෙට සිට ඇරඹෙන්නේ. මෙම ‘Made in Sri Lanka’ වැඩපිළිවෙළ 2021 මැද භාගය වනවිට අංගසම්පූර්ණ මට්ටමකට රැගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන්ද පවසා තිබේ.

මෙහිදී කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා, ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරුද මෙම අවස්ථාව සහභාගි වී ඇත.

Visits: 115