ASPI පිට පිට 15 වැනි අවස්ථාවටත් ඉහළ නගී

සතියේ පළමු දිනය ලෙස අද දිනයේදී (දෙසැ 14) කොළඹ කොටස් හුවමාරුවේ සිදුවූ ගනු‍දෙනු ආරම්භයේදීම පෙන්නුම් කළ ඉහළ ගැනුම්බරතාව මෙල්ස්ටාකෝර්ප් සහ හේමාස් හෝල්ඩිංග්ස් යන සමාගම්හි කොටස් කොටස් වටිනාකම් ඉහළ යාමත් සමගින්ම තවදුරටත් ඉහළ ගිය බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

එහෙත් පසුව එය සෞඛ්‍ය අංශයේ සමාගම් වෙත මෙන්ම විශාල ප්‍රාග්ධනයක් සහිත සමාගම් වෙත විතැන් වී තිබේ. එහිදී සෞඛ්‍ය අංශයේ සමාගම් තුළ සැලකිය යුතු මට්ටමින් කොටස් වටිනාකම් ඉහළයාමක් දැකගත හැකි වී ඇත. කෙසේ වෙතත් බැංකු වටිනාකම් ඉහළ යාම යම් තරමකින් පහත බැසි බවත් එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 6,632.45ත් ඒකක 6,679.66ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,656.64 ක් බවට පත්විය. පසුගිය සිකුරාදා (දෙසැම්බර් 11) දිනයට සාපේක්ෂව එය ඒකක 42.08 ක් එනම් +0.64%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

එසේම මෙය සමස්ත කොටස් මිල දර්ශකයේ අගයන් පිට පිට 15 වැනි වතාවටත් ඉහළ යාමක් පෙන්නුම් කිරිමක් බවටත් පත්ව ඇතැයි කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව ඩයලොග් ආසිආටා පීඑල්සී සහ ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සිදු කළ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 2%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 78ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 104ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+5.99), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+5.6),  ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+4.22),  සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+4.07),  ඊබීක්‍රීසි ඇන්ඩ් කම්පැනි පීඑල්සී EBCR (+3.58),  කොමර්ෂල් බැංකුව COMB (-2.26),  එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-2.24), සිලෝන් කෝල්ඩ් සිටෝර්ස් පීඑල්සී CCS (-1.76), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-1.46), සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී SINS (-0.86)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,634.84 ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (දෙසැම්බර් 11) දිනයට සාපේක්ෂව ඒකක 7.03 ක එනම් +0.27%ක ඉහළ යාමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.26ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (දෙසැ 11දා) වාර්තා කළ රුපියල් බිලියන 2.93ට සාපේක්ෂව 23% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.91ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 2.03%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 89.03ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 103.85 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 14.81කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 49.88ක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර අද දිනයේදී සිදු වුණු විදේශයන්හි සිට විදේශයන් දක්වා වූ මුදල් ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 40.43 කි.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හැටන් නැෂනල් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 21.53කි. එසේම ඩයලොග් ආසිආටා පීඑල්සි විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 27.09ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 615ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 29% ක අගයක් ගෙන තිබේ. සහ ප්‍රාග්ධන භාණ්ඩ සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල්  මිලියන 545ක සහ රුපියල් මිලියන 316ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 105