2020 ඔක්තෝබරයේදී වෙළෙඳ ගිණුමේ හිඟය අඩුවීමට හේතු මෙන්න

මේ වසරේ ඔක්තෝබර් මාසයේදී වෙළෙඳ ගිණුමේ හිඟය එක්සත් ජනපද ඩොලර් 514ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඔක්තෝබර් මාසයේදී විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දත්ත ඉදිරිපත් කරමින් මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව මේ කරුණු සඳහන් කරයි.

ඒ අනුව මේ වසරේ ඔක්තෝබර් මාසයේ වාර්තා කළ වෙළෙඳ හිඟය පසුගිය 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී වාර්තා කළ එක්සත් ජනපද ඩොලර් මිලියන 838ක වෙළෙඳ හිඟයට සාපේක්ෂව කැපී පෙනෙන අඩුවිමකි.

විශේෂයෙන්ම ඔක්තෝබර් මාසයේදී අපනයන ආදායම පහත වැටීම අභිබවා ආනයන වියදම පහත ව ැටීම මෙලෙස වෙළෙඳ ගිණුමේ හිඟය අඩුවීමට හේතු වූ බව මහ බැංකුව පවසයි.

ඒ අනුව ඔක්තෝබරයේ වෙලෙඳ භාණ්ඩ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 848ක් වූ අතර එය 2019 වසරේ එම මාසයේදී වාර්තාකළ අපනයන ආදායම වූ ඩොලර් මිලියන 977 ට සාපේක්ෂව -13.2%ක අඩුවීමකි. එසේම වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම මේ වසරේ ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 1,363ක් වූ අතර එය 2019 ඔක්තෝබර් මාසයේ වාර්තා කළ ඩොලර් මිලියන 1,816ක ආනයන වියදම හා අනුරූපව -24.9%ක අඩුවීම් වාර්තා කර තිබේ.

“සලකා බලනු ලබන කාලපරිච්ඡේදය තුළදී වෙළෙඳ ශේෂය වර්ධනය වීම සඳහා අපනයන පහත වැටීම (එ.ජ. ඩොලර් මිලියන 129කින්) අභිබවා ආනයන පහත වැටීම (එ.ජ. ඩොලර් මිලියන 453කින්) හේතු විය.” මහ බැංකුව පවසයි.

මේ අතර 2020 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මාස 10ක කාලය තුළදී වාර්තා කළ සමස්ත වෙළෙඳ  හිඟය එක්සත් ජනපද ඩොලර් මිලියන 4,852ක් විය. එය 2019 වසරේ එම කාලපරිච්ඡේදය තුළදී වාර්තා කළ සමස්ත වෙළෙඳ හිඟය වූ ඩොලර් මිලියන 6,451 සාපේක්ෂව කැපී පෙනෙන අඩුවීමකි.

“අපනයන  හා ආනයන මිල ගණන් අතර අනුපාතය දැක්වෙන වෙළෙඳ මිල අනුපාතය, 2019 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී 4% කින් ඉහළ ගිය අතර, මේ සඳහා අපනයන මිල ගණන් පහත වැටීම අභිබවා ආනයන මිල ගණන් පහත වැටීම හේතු විය.” මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 142