පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය 16 දා සිට යළි විවෘත කිරීමට යයි

කොවිඩ් වසංගතය නිසා වසා තිබූ පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය, සෞඛ්‍ය උපදෙස් වලට අනුව හෙට  (දෙසැම්බර් 16) දින මධ්‍යම රාත්‍රියේ සිට විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස  ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එම අමාත්‍යාංශ ලේකම්වරියට හා වෙළද සංගමයේ නිළධාරීන්ට උපදෙස් ලබා දුන් බව පවසයි. අමාත්‍යවරයා ඊයේ දිනයේදී මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සිදු කළ සංචාරයකින් අනතුරුව මෙම උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව වෙළද සංකීර්ණය තුල සිදුකරන ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු කරන ලෙසත් සෞඛ්‍ය උපදෙස් නිසියාකාරව පිළිපදින ලෙසත් මත්ස්‍ය වෙළද සංගමයේ නිලධාරින්ට දැඩි ලෙස උපදෙස් ලබා දී ඇත. යම් අයෙකු සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නේ නම් ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන ලෙස බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති ඇතුළු නිළධාරීන්ට උපදෙස් ලබා දුන් බවත් අමාත්‍යාංශය පවසයි.

එසේම මාළු වෙළද සංකීර්ණයට ඇතුල් වන සියළුම ව්‍යාපාරිකයන්ට හැදුනුම්පතක් නිකුත් කරන අතර අනෙක් සියළුදෙනාගේ පැමිණීම හා පිටවීම සටහන් කිරීමට ලේඛණයක් පවත්වාගෙන යාමට අමාත්‍යවරයා විසින් මත්ස්‍ය වෙළද සංගමයේ සභාපති හා ලේකම් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ. විශේෂයෙන් මත්ස්‍ය වෙළද සංකීර්ණයේ සනීපාරක්ෂක කටයුතු නිසි පරිදි පවත්වාගෙන යන ලෙසත් දිනපතා විෂබීජහරණය කරන ලෙසද අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා ඇත.

පළමු අදියරේදී තොග වෙළද කටයුතු පමණක් ආරම්භ කරන අතර පසුව සිල්ලර වෙළද කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යාංශය පවසයි.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, පෑලියගොඩ වෙළද සංගමයේ සභාපති, ලේකම් ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගී වී තිබේ.

Visits: 72