ශ්‍රීලංකන් සිංගප්පූරුව සහ මැලේසියාව වෙත ගුවන් ගමන් වැඩි කරයි

ශ්‍රීලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සිට සිංගප්පූරුව දක්වා මගී ගුවන් ගමන් වාර සතියකට තුන් වරක් දක්වා ඉහළ දැමීමට කටයුතු යොදා ඇතැයි පවසයි.

2020 දෙසැම්බර් මස 18 වන දින සිට එම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. මීට අමතරව සෑම සිකුරාදා දිනකම මැලේසියාවේ ක්වාලාලම්පූර් සහ කොළඹ අතර සතිපතා ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ඇත.

මෙම ගුවන් ගමන් COVID-19 ට අදාල ගුවන් ගමන් සීමාවන්ට සහ අදාළ රටවල් විසින් පනවා ඇති දේශසීමා වසා දැමීම් වලට යටත්ව ක්‍රියාත්මක වේ.

ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ ගුවන් ගමන් වෙන්කරවා ගැනීමට පෙර මෙම සංචාරක තත්වයන් පිළිබඳව දැනුවත්ව සිටින ලෙස මගීන්ට කාරුණිකව මතක් කර දෙනු ලැබේ.

ගුවන් තොටුපලේ සහ ගුවන් යානය තුළ කොවිඩ් -19 වැළැක්වීමේ සේවා සඳහා අමතර ක්‍රියාමාර්ග රාශියක් සිදුකෙරෙන අතර ශ්‍රීලංකන් ගුවන් සේවය සිය මගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්මට සැමවිටම ප්‍රමුඛත්වය ලබා දෙයි.

ගෝලීය ගුවන් ගමන් සීමා පනවා තිබියදීත්, ශ්‍රීලංකන් ගුවන් සේවය විශේෂිත මගී ගුවන් මෙහෙයුම් සහ පවතින ගුවන් භාණ්ඩ ධාරිතාව සපුරා ලීම සඳහා ගුවන් භාණ්ඩ මෙහෙයුම් සිදුකරන අතර පුළුල් බඳ සහිත මගී ගුවන් යානයක් භාණ්ඩ ගුවන් යානයක් බවට ද පසුගියදා පරිවර්තනය කරන ලදී.

ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ මෙම ගමනාන්තවලට සහ ඉන් ඔබ්බට සංචාරය කිරීමට අදහස් කරන මගීන්ට කොළඹ, ගාල්ල සහ මහනුවර පිහිටි ගුවන් සමාගමේ ගුවන් ප්‍රවේශ පත්‍ර විකුණුම් කාර්යාලවලින් හෝ ඔවුන්ගේ කැමති සංචාරක නියෝජිතයා හරහා ටිකට්පත් වෙන්කරවා ගත හැකිය. වැඩි විස්තර සඳහා +94117771979 අංකයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය අමතන්න. එසේත් නැතිනම් www.srilankan.com වෙබ් අඩවියට පිවිසෙන්න.

Visits: 96