බ්ලැක්ස්ටෝන් ගනුදෙනුවේදී පිරාමාල් වෙත මුලින්ම ලැබෙන්නේ ඩොලර් මිලියන 850 යිලු

ඉන්දියාවේ පිරාමාල් සමූහයට අයත් වීදුරු භාණ්ඩ නිෂ්පාදන සමාගම වන පිරාමාල් ග්ලාස් ලිමිටඩ් සමාගම මිලදී ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ආයෝජන සමාගමක් වන බ්ලැක්ස්ටෝන් ඉන්කෝපරේෂන් සමාගම එකඟතාවකට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුණි.

එහිදී මෙම ගනුදෙනුවේ සමස්ත වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියනයක් වෙයි. ඒ අනුව ඉන් පළමුව පිරාමාල් ග්ලාස් සමාගම වෙත හිමිවීමට නියමිතව ඇත්තේ එක්සත් ජනපද ඩොලර් මිලියන 850 කි. ඉතිරි මිලියන 150 සමාගම වෙත හිමිවීමට නියමිතව ඇත්තේ ඉදිරි වසර දෙකක කාලයකදී බව මාධ්‍ය වාර්තා පවසයි.

අද වනවිට බ්ලැක්ස්ටෝන් ඉන්කෝපරේෂන් සමාගම සතුව ඉන්දියාව තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 40ක වත්කම් ප්‍රමානයක් පවතී. එසේම එම සමාගම ඉන්දියාවේ මුල් ව්‍යාපාර 10  අතරද පවතී. එහිදී බ්ලැක්ස්ටෝන් සමාගම එක්සත් ජනපද ඩොලර් බිලියන 15ක මුදල් ආයෝජනයක් සිදු කර ඇත. එහිදී පෞද්ගලික කොටස් මිලදී ගැනීම් සඳහා ඩොලර් බිලියන 6.9ක්, දේපළ වෙළෙඳාම් තුළ ඩොලර් බිලියන 7.8ක් සහ උපායමාර්ගික අවස්ථා යටතේ තවත් ඩොලර් මිලියන 400ක් ආයෝජනය කෙරී ඇත.

මේ අතර පිරාමාල් සමූහය ආසන්න කාලසීමාවේදී සිදු කළ දෙවැනි ඩොලර් බිලියනයක ගනුදෙනුව බවටත් මෙය පත්ව තිබේ. මේ වසර තුළදී සිය බැංකු සහ මූල්‍ය නොවන සමාගම් තුළ ප්‍රාග්ධනය ඉහළ නංවාගැනීම සඳහා සමූහය සිය සමාගම් අලෙවි කිරීමක් සිදු කර තිබේ. ඒ අනුව එක්සත් ජනපදයේ පිහිටි සමාගමේ සෞඛ්‍ය ආරක්ෂක දත්ත විශ්ලේෂක සමාගමක් වන Decision Resources Group අලෙවි කිරීමට සමාගම පියවර ගෙන තිබුණි. එහිදී සිදු වූ ගනුදෙනුවේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 950 කි.

එසේම පිරාමාල් ෆාර්මා සමාගම සතුව තිබූ ඇමෙරිකානු බහුජාතික සමාගමක් වන Carlyle සමාගමේ කොටස් ප්‍රමාණයක් අලෙවි කිරීමටත් පිරාමාල් සමූහයේ  පියවර ගෙන තිබුණි.  මීට අමතරව පසුගියදා පිරාමාල් සමූහය සිය වීදුරු නිෂ්පාදන සමාගම යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම ඉන්දීය රුපියල් බිලියන 5කට ඉන්දියාවේ ප්‍රිස්ටීන් ග්ලාස් සමාගම වෙත අලෙවි කිරීමක්ද සිදු විය.

පිරාමාල් සමූහය විසින් ඉන්දියාවේ ගුජරාට් ග්ලාස් සමාගම අත්පත් කරගැනීමෙන් අනතුරුව 1984 වසරේදී පිරාමාල් ග්ලාස් සමූහය පිහිටවුණි. එසේම ශ්‍රී ලංකාවේ සිලෝන් ග්ලාස් සමාගම අත්පත් කරගෙන එම සමූහය ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාර වෙත පිවිසුණි. අද වනවිට එක්සත් ජනපදයේද පිරාමාල් ග්ලාස් කර්මාන්තශාලාවක් පිහිටා තිබේ. මෙම කර්මාන්තශාලා සතු දෛනික නිෂ්පාදන ධාරිතාව ටොන් 1,475 කි.

Visits: 563