“ආසන්න වසර කිහිපයේදී ලාභාංශ නොදුන්නේ විදේශ මෙහෙයුම් පුළුල් කිරීමට තිබූ නිසයි” – LOLC උප සභාපති ඉෂාර

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මගින් ආසන්න  වසර කිහිපයේදී සිය කොටස්හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමක් සිදු නොකළේ, සමාගමේ විදේශ මෙහෙයුම් ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය මුදල් රැක ගැනීමේ අරමුණින් බව සමූහයේ උප සභාපති ඉෂාර නානායක්කාර මහතා පවසයි.

2019/2020 වසර සඳහා පැවැති සමාගමේ ආසන්නතම වාර්ෂික මහා සභා රැස්වීමේදී සිය කොටස්හිමිකරුවන් අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. විශේෂයෙන්ම සමාගමේ විදේශීය ව්‍යාපාර මෙහෙයුම් පුළුල් කිරීමේ සැලසුම් සඳහා දැවැන්ත ආයෝජනයක් අවශ්‍යව තිබූ බවද ඔහු මෙහිදී පෙන්වා දෙයි.

මේ අතර, සිය සමාගම ආසන්න කාලසීමාවේදී සිය මූල්‍ය සහ මූල්‍ය නොවන පරිපාලිත සමාගම් තුළ දිගින් දිගටම ආයෝජන සිදු කළ බවත් හෙතෙම පවසා ඇති බව මේ පිළිබඳව වාර්තාවක් ගෙන එන ’සන්ඩේ අයිලන්ඩ්’ පුවත්පත පවසයි.

විශේෂයෙන්ම ආසන්න කාලසීමාවේදී රුපියල් බිලියන ගණනින් වඩාත් ලාභදායී ලෙස ව්‍යාපාරය පවත්වාගෙන ගිය සමාගමක් ලෙසට LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය මාධ්‍ය මගින් ප්‍රචාරය ලබා දෙමින් සිටියදී  2012 වසරේ සිටම තමන් වෙත මෙලෙස ලාභාංශ ලබා නොදීම සම්බන්ධයෙන් එහි කොටස්හිමිකරුවන් අවස්ථා ගණනාවකදීම විමසීම්  පවා සිදු කර ඇත.

2020 මාර්තු 31 වැනිදා අවසන් වූ මූල්‍ය වර්ෂය වෙනුවෙන් සමාගම නිකුත් කළ වාර්ෂික වාර්තාව තුළද අදහස් දක්වා තිබූ ඉෂාර නානායක්කාර මහතා, ගෙවුණු වසර දෙකක කාලය තුළ ලංකාවේ වඩාත් ලාභදායී ලැයිස්තුගත සමාගමක් ලෙසට LOLC පත්ව ඇති බවක්ද සඳහන් කර තිබුණි.

පසුගිය මූල්‍ය වසරේදී LOLC සමූහයේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 19.79ක් වූ අතර එය ඊට පෙර වසරේ සමූහය ලැබූ ශුද්ධ ලාභය රුපියල් බිලියන 19.64කි.

මෙලෙස ලාභාංශ නොගෙවීමේ ප්‍රතිපත්තියේ වෙනස්වීමක් පිළිබඳව විමසන අවස්ථාවේදී අදහස් දක්වන ඉෂාර නානායක්කාර  මහතා, “එය පදනම් වන්නේ සමාගමේ අනාගත පුළුල්කිරීම් මතයි” යනුවෙන් පවසා ඇත.

පසුගිය සැප්තැම්බර් 30 වැනිදා වනවිට LOLC හෝල්ඩිංග්ස් පීඑල්සීහි කොටසක වටිනාකම රුපියල් 194.72ක් ලෙස සටහන්ව පැවතුණි. එසේම අවසන් මූල්‍ය වසරේදී එම කොටසක අවම වටිනාකම රුපියල් 86ක් ලෙසත් උපරිම වටිනාකම රුපියල් 194.90ක් ලෙසත් පැවතුණි.

2010 වසරේදී LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී තමන් සතුව තිබූ කොටසක් තවත් කොටස් 10ක් වන ලෙස අතුරු බෙදීමක්ද සිදු කර තිබුණි. එසේම පසුගිය වසරේ වාර්ෂික වාර්තාව වෙත අදහස් දක්වමින් නානායක්කාර මහතා සමූහය සතු සමස්ත වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 7.083ක් වන බවත් එය විදේශයන්හි සිය සලකුණ තැබීම සඳහා ප්‍රමාණවත් වන බවත් පවසා තිබුණි.

මේ අතර, LOLC  සමූහය සිය මෙහෙයුම් පුළුල් කරමින් පසුගියදා සැම්බියාවේදීත් සිය කාර්යාලයක් විවෘත කිරීමට සමත්විය. ඒ අනුව සමාගමේ විදේශීය මූල්‍ය මෙහෙයුම් සිදු කරන නව වැනි රට බවටත් LOLC සැම්බියා පත්ව තිබේ. දැනටමත් LOLC සමූහය කාම්බෝජියාව, මියන්මාරය, ඉන්දුනීසියාව, පාකිස්තානය, පිලිපීනය සහ නයිජීරියාව තුළත් සිය මෙහෙයුම් දියත් කරමින් සිටියි.

මීට අමතරව එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ ඩිජිටල් ගෙවීම් ජංගම දුරකතන ඇප් වැඩසටහන වන iPay ඉදිරියේදී මියන්මාරය, පාකිස්තානය සහ ඉන්දුනීසියාව වෙතද හඳුන්වාදීමට කටයුතු කරන බව එම සමාගම පවසා තිබුණි. දැනටමත් මෙම වැඩසටහන ක්‍රියාත්මක ශ්‍රී ලංකාව සහ කාම්බෝජය තුළ එය සාර්ථකවීමත් සමගින්ම සමාගම මෙම තීරණය ගෙන ඇත.

Visits: 1570