2021 SLT දින දර්ශනය ‘ශ්‍රී ලංකාවේ පිත්තල කලාව’ උදෙසා වෙන්වෙයි

ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සමාගම මගින් 2021 වසර සඳහා නිර්මාණය කෙරුණු දින දර්ශනය පසුගියදා නිල වශයෙන් එළිදැක් වූ බව  එම සමාගම පවසයි. ඒ අනුව ශ්‍රී ලාංකීය පිත්තල කලාව හා දේශීය නිර්මාණකරුවාගේ හැකියාව විදහා දැක්වීම අරමුණු කරගනිමින් ‘ශ්‍රී ලංකාවේ පිත්තල කලාව’ වෙනුවෙන් මේ වසරේ දින දර්ශනය නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම කටයුතු යොදා තිබේ.

මෙහිදී ශ්‍රී ලාංකීය පිත්තල කලාව හා දේශීය නිර්මාණකරුවාගේ හැකියාව විදහා  දැක්වීමට කටයුතු යෙදූ බව ටෙලිකොම් සමාගම පවසයි. ඒ අනුව 2021 වසරේ SLT දින දර්ශනය ශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩ කර්මාන්තය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් ඒ පිළිබඳ පුළුල් සමාජ කතිකාවක් ඇතිකිරීමේ නිර්මාණශීලී වෑයමක් බවද ටෙලිකොම් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම දශකයකට අධික කාලයක් පුරා “හෙට දින වෙනුවෙන් උරුමය සුරැකීම” යන මැයෙන් අනාගත පරපුරේ අභිවෘද්ධිය අරමුණු කරගෙන මෙලෙස දින දර්ශන එළිදක්වමින් සිටියි. විශේෂයෙන්ම මෙරට ප්‍රෞඪ සංස්කෘතික උරුමය හා ස්වභාවික වටිනාකම්හි තිරසාරතාව සහතික කරමින් ශ‍්‍රී ලාංකිකයන් තුළ දේශීයත්වය කෙරෙහි උද්‍යෝගය දැන්වීම මෙහි අරමුණ වී තිබේ.

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව සමග එක්ව ඉදිරිපත් කරනු ලබන 2021 SLT දින දර්ශනයේ ශ්‍රී ලංකා පිත්තල කර්මාන්තයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන මහනුවර යුගයේ අතීත ශ්‍රී විභූතිය විදහා දැක්වෙන පිත්තල නිර්මාණ රැසක ඡායාරූප ඇතුලත් කොට ඇත.

තඹ සහ සින්ක් මූලද්‍රව්‍ය මිශ‍්‍ර කොට නිපදවනු ලබන දීප්තිමත් වර්ණවත් ලෝහයක් වන පිත්තල ආශ‍්‍රයෙන් නිෂ්පාදනය කළ භාණ්ඩ වර්ග රැසක් අතීත රාජකීයන් හා ප‍්‍රභූවරුන්ගේත්,ආගමික ස්ථානයන්ගේ අවශ්‍යතා සඳහා මෙන්ම සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා කටයුතු සඳහාද සුලබව භාවිත කොට තිබේ.

ඒ අනුව සංඛය, ලක්ෂ්මී පහන,කිණිස්ස,වැඳුම්ගිරය,පිත්තල බන්දේසිය, හුණු කිල්ලෝටය, ආභරණ මංජුසාව වැනි එදිනෙදා භාවිතා වූ අනර්ඝ පිත්තල නිර්මාණ පෙළක් මෙම SLT 2021 දින දර්ශනයෙහි ඇතුලත් කොට ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් 2021 දින දර්ශනය පිළිබඳ අදහස් දක්වන ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි මහත්මියථ “මෙවර SLT දින දර්ශනය නිර්මාණය කිරීමට ජාතික කෞතුකාගාරයේ අපටද දායක වන්නට ලැබීම මහත් අභිමානයක්. අපේ රටේ අතීත ශ්‍රී විභූතිය හා වටිනාකම් ගැන ජන මනස තුළ හෘද්‍යාංගම හැඟීමක් ඇති වන්නට හුදෙක් කෞතුකාගාරයේ වීදුරු ආවරණ තුළින් ඒවා නරඹා යාම පමණක් ප‍්‍රමාණවත් නැහැ. එදිනෙදා ජීවිතයේදී නිතර හමුවෙන දින දර්ශනයක් වැනි මාධ්‍යයක් හරහා එම අපේ රටේ සංස්කෘතික වටිනාකම් ජනතාවට වඩාත් සමීප කරවන්නට පුළුවන්. ඒ හරහා දේශීය පිත්තල කර්මාන්තයේ වටිනාකම් පිළිබඳ ජනතාව තුළ ආකර්ෂණයක් ඇතිවනවා වාගේම තමන්ගේ එදිනෙදා ජීවිතයට පිත්තල නිෂ්පාදන භාවිතා කිරීමටත් යම් දිරිගැන්වීමක් සිදුවනවා.” යැයි පවසා සිටියි.

SLTප‍්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා 2021 දින දර්ශනය පිළිබඳ අදහස් දක්වමින් “ජාතික දුරකතන සන්නිවේදන සේවා සැපයුම්කරුවා වශයෙන් SLT අප ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව සමග එක්ව අපේ රටේ පිත්තල කර්මාන්තයේ අතීත ශ්‍රීවිභූතිය වර්තමානයට සමීප කරන්නට මෙවර දිනදර්ශන ය නිර්මාණය කළා. ශ්‍රී ලාංකීය අනන්‍යතාව විදහා දැක්වෙන මෙවැනි අනර්ඝ නිර්මාණ පෙළක් දිනදර්ශන ය හරහා සමාජගත කිරීමෙන් අපේ අනාගත පරම්පරාව තුළ රටේ සංස්කෘතික වටිනාකම් ගැන අවබෝධයක් හා ආකර්ෂණයක් ඇති කිරීමටයි අපි බලාපොරොත්තු වූණේ.”යැයි පවසා සිටියි.

Visits: 155