“ශ්‍රී ලංකාවේ සිම් ලිම් චතුරස්‍රය බවට යුනිටි ප්ලාසා පත් කරනවා” – ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට් සමනිර්මාතෘ

තොරතුරු තාක්ෂණික උපාංග සඳහා ප්‍රසිද්ධියට පත්ව ඇති සිංගප්පූරුවේ සිම් ලිම් චතුරස්‍රය හා සමාන තත්ත්වයට ශ්‍රී ලංකාවේ යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණයත් පත් කරන බව යුනිටි ප්ලාස් ගොඩනැගිල්ලේ වැඩි හිමිකාරීත්වයක් සහිත ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී සමාගමේ සම නිර්මාතෘ, විධායක අධ්‍යක්ෂ හාර්ඩි ජමාල්ඩින් පවසයි.

පසුගියදා සන්ඩේ මෝර්නිං පුවත්පත වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ජමාල්ඩීන් මහතා මේ කරුණු සඳහන් කර තිබේ.

“අපි බලාපොරොත්තු වෙනවා යුනිටි ප්ලාසා ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම වෙනසකට ලක් කරන්න. විශේෂයෙන්ම දැනටමත් එහි ස්ථාපිත වෙලා තිබෙන තොරතුරු තාක්ෂණික උපාංග තොග අලෙවිය සහ බෙදාහැරීමේ අවස්ථාවන් යොදා ගනිමින් තවදුරටත් එය දියුණු කරන්න අපි සැලසුම් සකස් කර තිබෙනවා. එහිදී පාරිභෝගිකයාට වගේම මෙම කඩසාප්පු හිමිකරුවන්ටත් වඩා වැඩි පහසුකම් සැලසීම අරමුණයි.” ජමාල්ඩීන් මහතා පවසා ඇත.

ඒ අනුව ඉදිරියේදී කොළඹ නගරය තුළ A ශ්‍රේණියේ දේපළක් බවට යුනිටි ප්ලාසා ගොඩනැගිල්ල පත් කිරීම ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සීහි අරමුණ වී ඇත. ඒ අනුව කොළඹ වඩාත් ජනප්‍රිය තොරතුරු තාක්ෂණික උපාංග අලෙවි සහ බෙදා හැරීමේ අවකාශයක් ලෙස වඩාත් ලාභදායී දේපළ වෙළෙඳාමක් බවට එය  පත් කිරීම අපේක්ෂාව බවද ජමාල්ඩීන් මහතා පවසා තිබේ.

සිංගප්පූරුවේ ‘සිම් ලිම් චතුරස්‍රය’ 1980 දශකයේ මැද භාගයේදී ‘සිම් ලිම් ටවර්’ ලෙස ස්ථාපිත කර ඇති අතර එම අවස්ථාවේදී එම ව්‍යාපෘතියේ විනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 30කි. පසුව 1987 වසරේදී නව පරිපාලනයකට යටත්වීමෙන් අනතුරුව එය සිම් ලිම් චතුරස්‍රය බවට වෙනස් විය. හය මහල් ගොඩනැගිල්ලක් වන මෙය සිංගප්පූරු තොරතුරු තාක්ෂණික කර්මාන්තයේ වඩාත් වැදගත් ස්ථානයක් බවට පත්ව තිබේ. අද වනවිට මෙම ව්‍යාපෘතියේ වටිනාකම ඩොලර් මිලියන 140ක් බවට පත්ව තිබේ.  

ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී සමාගම මගින් යුනිටි ප්ලාසා ගොඩනැගිල්ල  හිමි ඔන්ඇලේ හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ වැඩි කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගැනීමට පසුගිය සතියේදී සමත් විය. එහිදී රේනුකා කැපිටල් පීඑල්සී සමාගමට අයත්ව තිබූ 43.8%ක කොටස්  හිමිකාරීත්වයත් සමගින් සමස්ත කොටස් 50.8%ක හිමිකම  ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී සමාගම වෙත අයත්ව තිබේ.

මෙම අත්පත් කරගැනීමෙන් අනතුරුව යුනිටි ප්ලාසා ගොඩනැගිල්ලේ සිදු කරන අලුත්වැඩියා කටයුතු සඳහා දැනටමත් රුපියල් බිලියන 2.8ක මුදලක් ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ පිහිටි සිල්ලර භාණ්ඩ අලෙවි ප්‍රදේශය සඳහා වෙන් කර ඇතැයිද ලංකා රියැලිටි ඉන්වෙස්ටේමන්ට්ස් සමාගම පුවත්පත වෙත අනාවරණ  කරයි. එහිදී ගොඩනැගිල්ලේ ඉහළ කාර්යාල මහල් වෙත සිදු කරන අලුත්වැඩියාවන්ද සමගින් යුනිටි ප්ලාස් ගොඩනැගිල්ල වෙත සම්පූර්ණයෙන්ම වෙනස් වූ පෙනුමක් ලබා දෙන බවත් විධායක අධ්‍යක්ෂ ජමාල්ඩීන් මහතා පවසා සිටියි.

අද වනවිට යුනිටි ප්ලාසා ගොඩනැගිල්ලේ ලංකා බැංකු පරිශ්‍රය හැර මාසික කුලී පදනම මත ලබා දී ඇති ඉඩ ප්‍රමාණය වර්ග අඩි 77,600 කි. එහිදී ගොඩනැගිල්ලේ පෙර හිමිකරුවන් වූ ඔන්‘^ඇලේ සමාගම පසුගිය වසර 20ක කාලය පුරාම එය වඩාත් ලාභදායී ආකාරයෙන් පවත්වාගෙන  යාමට කටයුතු යොදා තිබූ බවත් ජමාල්ඩීන් මහතා මෙහිදී සිහිපත් කරයි.

“දැන් තමයි වෙලාව. ඉහළ මට්ටමේ ආයෝජකයන් විතරක්ම නෙමෙයි විවිධාංගීකරණය වූ දේශීය වගේම විදේශීය ආයෝජකයන් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා ඇදේවි.” හෙතෙම පවසයි.

විශේෂයෙන්ම රජය විසින් මේ වසර ආරම්භයේදීම හඳුන්වාදුන් දේපළ වෙළෙඳාම් ආයෝජන භාරය පිළිබඳ ක්‍රියාරාමුව හරහා මෙවැනි දේපළ වෙළෙඳාම් තුළ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන පිරිස් වෙත පහසුකම් සැලසෙන බවත්, කිසිදු කනස්සල්ලකින් තොරව මෙම ඉහළ යමින් පවතින ක්ෂේත්‍රය තුළ ආයෝජනය කරමින් සිය ජීවිත වඩාත් පහසු කරගැනීමට එම ආයෝජකයන්ට අවස්ථාව හිමි වන බවත් ඔහු පවසයි.

සුප්‍රසිද්ධ බ්ලොක් ගල් සහ ගල්ඇතුරුම් නිෂ්පාදන සමාගමක් වන ඇම්ට්‍රැඩ් සමාගමද ඇතුළුව ඉදිකිරීම්, ආයෝජන, හෝටල් ඇතුළු ක්ෂේත්‍රය ගණනාවක විහිදී ඇති ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම සතු වත්කමේ වටිනාකම රුපියල් බිලියන 11.6ක් පමණ වන බවත් පැවසෙයි.

Visits: 494