BOI නව සභාපති සංජය මොහොට්ටාල

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස සංජය මොහොට්ටාල මහතා ඊයේ (දෙසැ 09) දිනයේ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි එම මන්ඩලයේ කාර්යාලයේදී වැඩ භාරගත්තේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම් කිරීමක් අනුව ඒ මහතා මෙලෙස ධුරයට පත්ව තිබේ.

ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සුසන්ත රත්නායක මහතාගේ ඉවත්වීමෙන්  පුරප්පාඩු වූ තනතුර සඳහා ඒ මහතා මෙලෙස පත් කර ඇත. සභාපතිවරයා වීමට පෙර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසද සේවය කළ  මොහොට්ටාල මහතා දෙස් විදෙස් ප්‍රමුඛ ආයතන කිහිපයක උසස් තනතුරු හොබවා තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකු වන ඔහු ලොව කීර්තිමත් සමාගමක් වන බොස්ටන් උපදේශක සමාගමේ කලමනාකර අධ්‍යක්ෂ මෙන්ම  හිමිකාරිත්ව සහකරුද වන බව ආයෝජන මණ්ඩලය පවසයි.

මොහොට්ටාල මහතා වසරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ආයෝජන ගැටලු නිරාකරණය සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් ඇති කරවා ගැනීම, ආයෝජන මණ්ඩල පනත සංශෝධනය කිරීමේ මූලික කටයුතු ආරම්භ කිරීම, කොවිඩ් ව්‍යසනය හමුවේ කර්මාන්ත අඛණ්ඩව පවත්වාගෙන යෑම වැනි කාර්යයන් රැසක් සිදුකිරීමට කැපී පෙනෙන නායකත්වයක් ලබා දී තිබේ.

රාජකාරී ආරම්භ කරමින් අදහස් දැක් වූ නව සභාපතිවරයා, කොවිඩ් අවදානම් කාලය තුලදී ආයෝජන කලාප වසා නොදමා නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට හිටපු  සභාපති සුසන්ත රත්නායක මහතා ඇතුළු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කාර්යය මණ්ඩලයේ ලබා දුන් සහයෝගය කෘතවේදීව සිහිපත් කර තිබේ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙලෙහි මෙරට ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් අප වෙත පැවරී ඇති කාර්යයන් ඉටුකිරීමට අවශ්‍ය මූලික සැලසුම් මේ වනවිටත් සකස් කර ඇති බවත්, ඉදිරියේදී ‍හදුනාගත් නව ක්ෂේත්‍ර කිහිපයක් නිෂ්පාදන ක්‍රියාවලියට එක් කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා සියලුදෙනාගේ සහය ඉදිරියටත් බලාපොරොත්තු වන බවත් මොහොට්ටාල මහතා කියා තිබේ.

ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය තමා කෙරෙහි තවදුරටත් තැබූ විශ්වාසය සාක්ෂාත් කිරීම තම අරමුණ බවත් ඒ වෙනුවෙන් තම උපරිම ශක්තිය වැය කරන බවත් හෙතෙම සදහන් කර ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙරට ආර්ථිකය හැසීරවීමේ සුවිශේෂි ආයතනය බවටත්, විධායක ජනාධිපතිවරයා යටතේ පවතින ආර්ථිකයේ දිශානතිය මෙහෙයවන රජයේ ප්‍රබලතම රාජ්‍ය ආයතනය බවටත් පත්කිරීම තම අරමුණ බව මොහොට්ටාල මහතා තවදුරටත් පවසා තිබේ.

Visits: 169