සමස්ත පිරිවැටුම බිලියන 5 ඉක්මවද්දී, පිටතට ගලාගිය විදේශ ආයෝජන බිලියන 49 ඉක්මවයි

අද දිනයේදී (දෙසැ 09) කොළඹ කොටස් හුවමාරුවේ සිදු වූ ගනුදෙනුවලදී බ්‍රවුන්ස්  ඉන්වෙස්ට්මන්ට්, බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි සහ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් යන සමාගම්හි සිදු වූ මිල ගණන් ඉහළ යාමත් සමගින්ම දිනය නිමාවේදී සමස්ත කොටස් මිල දර්ශකයේ ඉහළ යාමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

එසේම දිනයේ සමස්ත පිරිවැටුමත් රුපියල් බිලියන 5 ඉක්මවූ අගයක් දක්වා ඉහළ යාම සිදු විය. විශේෂයෙන්ම කොළඹ කොටස් හුවමාරුව පිට පිට 12 වැනි දිනටත් සාර්ථකත්වයක් පෙන්නුම් කරමින් තවදුරටත් වෙළෙඳපොළ සම්බන්ධයෙන් පවතින ආයෝජක විශ්වාසනීයත්මවය පිළිබඳව සටහන් කර තිබෙන බවද එම සමාගම් පවසයි.  

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 6,540.76ත් ඒකක 6,633.07ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,605.09 ක් බවට පත්විය. ඊයේ (දෙසැම්බර් 08) දිනයට සාපේක්ෂව එය ඒකක 41.09 ක් එනම් +0.63%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව එන්ඩීබී බැංකුව, හේලීස්  ෆැබ්රික් පීඑල්සී සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සිදු කළ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 6%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 134ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 72ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ බ්‍රවුන්ස් ඉන්වෙන්ස්ටම්න්ට් පීඑල්සී  BIL (+23.02), බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (+6.18),  එල්ඕඑල්සී පීඑල්සී LOLC (+4.35),  මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+4.00),  හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (+3.96),  කොමර්ෂල් බැංකුව පීඑල්සී COMB (-3.27), එච්එන්බී ෆිනෑන්ස් පීඑල්සී HNBF (-1.95), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.87), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-1.79), යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී UAL (-1.63)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,641.72 ක අගයක් ගත් අතර, එය ඊයේ (දෙසැම්බර් 08) දිනයට සාපේක්ෂව ඒකක 0.78 ක එනම් +0.03%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.29ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (දෙසැ 08දා) වාර්තා කළ රුපියල් බිලියන 4.24ට සාපේක්ෂව 25% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.89ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 1.24%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 438.60ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 889.27 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 450.67කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 49.33ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 104.4කි. එසේම සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සි විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 284.02ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් බිලියන 1.71ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 32% ක අගයක් ගෙන තිබේ. ප්‍රාග්ධන භාණ්ඩ සහ බැංකු අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල්  බිලියන 1.11ක සහ රුපියල් මිලියන 745ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 225