ලංවාසංස්ථා සිමෙන්ති 2021 වසරේ ජූනි සිට

හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ පිහිටි ලංවාසංස්ථා සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාවේ කටයුතු ලබන 2021 වසරේ ජූනි මාසයේදී ආරම්භ කිරිම හැකියාව ලැබෙනු ඇතැයි ලංවාසංස්ථා සිමෙන්ට් කෝපරේෂන් පෞද්ගලික සමාගම පවසයි.

අක්කර 63 ක භූමියක් පුරා පිහිටි මෙම සිමෙන්ති කර්මාන්තශාලාව ලොව විශාලතම සිමෙන්ති කර්මාන්තශාලාවක්  බවටද හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකා ආයෝජන මණ් ඩලයේ ව්‍යාපෘතියක් ලෙස සිදු කෙරුණු මෙම ව්‍යාපෘතියේ මෙහි මුල් අදියරේ ආයෝජනය එක්සත් ජනපද ඩොලර් මිලියන 70කි. කර්මාන්තශාලාවේ නිෂ්පාදන ධාරිතාව වසරකට සිමෙන්ති මෙට්‍රික්ටොන් මිලියන 2.4ක් පමණ වන බව ඇස්තමේන්තු කර ඇත.

එසේම ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ ආයෝජනය එක්සත් ජනපද ඩොලර් මිලියන 10 කි. ඒ හරහා නිෂ්පාදන ධාරිතාව තවත් මෙට්‍රික් ටොන් මිලියන 1.2කින් ඉහළ නැංවීම අරමුණ වී තිබේ. සුප්‍රසිද්ධ ව්‍යාපාරික නන්දන ලොකුවිතාන මහතාගේ සභාපතිත්වයෙන් මෙම ලංවාසංස්ථා සිමෙන්ට් කෝපරේෂන් පෞද්ගලික සමාගම මෙහෙයුම් සිදු කරයි.

සමාගම පවසන ආකාරයට පරිසර හිතකාමී ක්‍රමවේදයන්ට අනුව අති නවීන යුරෝපීය තාක්ෂණය මගින් මෙහි නිෂ්පාදන කටයුතු කරයි. එහිදී ජර්මනියේ නවීනතම Gebr Pfeiffer යන්ත්‍ර යොදා ගෙන ඇත. එසේම කර්මාන්තශාලාව පුරා යොදා ගෙන ඇති අනෙකුත් තාක්ෂණික උපාංග Siemens සමාගමේ නිෂ්පාදන වෙයි. මීට අමතරව සිමෙන්ති ඇසුරුම් කිරීමේදී අවම අපතේයාමක් සිදු කරමින් උපරිම කාර්යක්ෂමතාවක් ලබා ගැනීම සඳහා FLSmidth නම් නවීනතම ඇසුරුම් තාක්ෂණයත් මේ සඳහා යොදා ගැනේ.

ධීවර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාද පසුගියදා මෙම කර්මාන්තශාලාවේ නිරීක්ෂණයකටද එක් විය.

මෙම අවස්ථාවේදී අදහස් දක්වා සිටි ලංවාසංස්ථා සිමෙන්ට් කෝපරේෂන් පෞද්ගලික සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා, “මෙම කර්මාන්තශාලාව මගින්   ඉහළ ගුණාත්මකබවින් යුත් නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරමින්, රටෙහි ඉදිකිරීම් කර්මාන්තය වෙත ඉතා විශාල ප්‍රතිලාභ අත්කරදීමට දායකත්වය ලබා දෙනවා. නවීනතම යුරෝපියානු තාක්ෂණයෙන් සමන්විත ලංකාවේ පළමු සිමෙන්ති කර්මාන්ත ශාලාව මෙයයි. මෙම කර්මාන්තශාලාව නිරන්තර නිරීක්ෂණයට ලක් කරමින් ඉන් සිදුවන පරිසර හානිය පිළිබඳව සෝදිසියෙන් සිටිනවා.” යනුවෙන් පවසා සිටියි.

සභාපති නන්දන ලොකුවිතාන මහතා මේ වනවිට එක්සත් අරාබි එමීර රාජ්‍යයේ Onyx සමූහයේ ප්‍රධානියා වන අතර, ඩුබායිහි මැරියට් අල් ජඩාෆ් හෝටලයේ හිමිකරුවාද වෙයි. මීට අමතරව හොරණ කර්මාන්ත පුරයේ පිහිටි රිජිඩ් ටයර් කෝපරේෂන් සමාගම මෙන්ම මරන්ගොනි ඉන්ඩස්ට්‍රියල්  ටයර්ස් ලංකා (පෞද්) සමාගමේ  හිමිකරුවාද වෙයි.

ලංකා වානේ සංස්ථාව සමගින් ඇති කරගත් ආයෝජන ගිවිසුමකට අනුව මෙම ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව ඉදි කෙරී ඇත.

සමාගම සඳහන් කරන ආකාරයට ලංවාසංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව මගින් ඉදිරියේදී සිදු කරන වරාය නගර ව්‍යාපෘතිය මෙන්ම අධිවේගී මාර්ග සඳහාද වන සිමෙන්ති අවශ්‍යතාව සැපිරීමට සමත් වෙනු ඇතැයි පැවසෙයි. එහිදී සාමාන්‍ය පෝර්ට්ලන්ඩ් සිමෙන්ති, පෝර්ට්ලන්ඩ් ස්ලැග් සිමෙන්ති, පෝර්ට්ලන්ඩ් හුණුගල් සිමෙන්ති ලෙස බ්ලෙන්ඩඩර් සිමෙන්ති නිෂ්පාදන ඉදිරිපත් කිරීමට සමාගම අපේක්ෂා කරයි.

Visits: 530