කොළඹ කොටස් හුවමාරුව 35 වසරක් සම්පූර්ණ කරයි

ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළෙහි එකම බලපත්‍රලාභී ක්‍රියාකරු වන කොළඹ කොටස් හුවමාරුව සිය ගමන් මගෙහි ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්  පසුගිය 2020 දෙසැම්බර් 03 දින  සිය තිස් පස්වන (35) වන සංවත්සරය සනිටුහන් කළ බවත් පවසයි.

ශ්‍රී ලාංකේය ව්‍යවසායකත්වයේ ජීවගුණය රඳවා පවත්වා ගනිමින් වර්තමාන කොළඹ කොටස් හුවමාරුව වගකීම් දරන කොටස් ගනුදෙනු කිරීමේ ඉතිහාසය ශතවර්ෂය ඉක්මවයි. ශ්‍රී ලංකාවේ වැවිලි වගාවන්ට අවශ්‍ය කරන ප්‍රාග්ධනය සම්පාදනය කරගැනීම උදෙසා 1896 දී ඇරඹුණු කොටස් ගනුදෙනු වීම වර්තමානයේ වසරකට රුපියල් බිලියන 300 ඉක්මවන ප්‍රාග්ධන ප්‍රවාහයකට හිමිකම් කියයි.

ශ්‍රී ලංකාවේ මූල සේවා ක්ෂේත්‍රයේ ස්වභාවය කැපී පෙනෙන පරිවර්තනීය වෙනසකට ලක් කරමින් ඇපයෙන් සීමිත සමාගමක් ලෙස කොටස් තැරව්කාර ආයතන 07ක මූලිකත්වයෙන් කොළඹ සුරැකුම්පත් හුවමාරුව 1985 වර්ෂයේදී ස්ථාපනය කෙරිණි.

වර්තමානය්දී කොළඹ කොටස් හුවමාරුව තැරව්කාර ආයතන හා 700,000 කට අධික වීව්ධවු ආයෝජකයින්ට අවශ්‍ය නව තාක්ෂණික හා ඩිජිටල් මූලිකාංග සහිතව  පූර්ව ගනුදෙනු , ස්ථානීය ගනුදෙනු හා පසු ගනුදෙනු කටයුතු සඳහා පහසුකම් සැපයීමෙහි නිරතව සිටියි. වසර තිස් පහක ප්‍රගාමී ගමන් මග තුලදී සියලු සහභාගී කරුවන්ගේ සාමූහික උත්සාහය නිසා  ප්‍රාග්ධන වෙළෙඳපොළ කාර්යභාරය තුලදී  බොහෝ සාධනීය ප්‍රතිඵල රාශියක් අත්පත් කරගැනීමට අවකාශය සැලසී තිබේ.

ලෝක කොටස් හුවමාරු සංගමයේ සාමාජිකයෙකු ලෙසත් , අවස්ථා කිහිපයකදී දකුණු ආසියානු කලාපයේ කොටස් හුවමාරු සංගමයේ සභාපති ලෙසත් කොළඹ කොටස් හුවමාරුව ලෝක මට්ටමේ කර්තව්‍යන් වලදී මෙන්ම කලාපීය ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රවර්ධනය හා සංවර්ධන ප්‍රතිපත්ති නිමවුම් උදෙසා කැපී පෙනෙන කාර්යභාරයක නිරතව සිටියි.

මෙම උත්කර්ෂවත් අවස්තාව සමරනුවස් 100% අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මකවන සීනුව නාද කරමින් වෙළෙඳපොළ ආරම්භය සනිටුහන් කිරීමේ උත්සවයක් සංවිධානය කරතිබේ. පවතින සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් මෙවැනි අන්තර්ජාල තාක්ෂනය ඔස්සේ සීනුව නාද කිරීමේ උළෙලක් පැවැත්වෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට වීමද විශේෂත්වයකි. සිය 35 වන සන්ධිස්ථානය සමරනුවස් කොළඹ කොටස් හුවමාරුව සංවිධානය කරන සැමරුම් මාලාවෙහි එක් සැමරුමක් වන මෙය “ A Transformative Past – A Vibrant Future” , පරිවර්තනීය අතීතයක් තුළින් උද්දීප්ත අනාගතයකට යන තේමාව යටතේ පැවත්වේ.

මෙහිදී අදහස් පළකරමින් කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ, “කොටස් වෙළෙඳපොළ වසර 35 ක ක්‍රියාකාරීත්වය සනිටුහන් වන පසුබිමක ක්ෂේත්‍රයේ සහයෝගී විශේෂඥතා හා අත්දැකීම් මනාව උපයෝගී කරගනිමින් බහුවිධ අන්තයන් රැසක් කරා වෙළෙඳපොළ ඉදිරි පිම්මක් තබමින් පසුවෙනවා. වෙළෙඳපොළ තත්වය ඉහල නැංවීම උදෙසා කළහැකි කර්තව්‍යන් නැවත සලකා බැලීමේදී , වෙළෙඳපොළ යටිතල පහසුකම් සංවර්ධනය , මූල්‍ය උපකරණ වල විවිධාන්ගීකරණය, ආයෝජක ප්‍රමාණය  පුළුල් කිරීම, තිරසාර ව්‍යාපාර ආකෘතීන් නිර්මාණය කිරීම  වගේම ඉතාම වැදගත්ම වන්නේ රජය හා වෙළෙඳපොළ නියාමකයින් සමඟ එක්ව කොළඹ කොටස් හුවමාරුව ප්‍රාග්ධනය සම්පාදනයෙහිලා ප්‍රධාන  තැනක ස්ථානගත කිරීමයි.”

“ අප අපගේ ගමන සාර්ථකත්වය කරා යනවා. ඒ ගමනේදී අප කරෙහි විශ්වාසයෙන් නොවෙනස්ව සිටි අපගේ අනෙකුත් සහභාගී කරුවන් අපි අගය කරනවා. කොටස් වෙළෙඳපොළ නිර්මාණය කිරීමේ සිට මේ දක්වා එහි සංවර්ධනයට කොටස් තැරව්කාර ආයතන විසින් ඉටුකරන ලද කාර්යභාරය මං මෙහිදී සිහිපත් කරන්නට කැමතියි. ඒ වාගේම කොටස් හුවමාරුවෙහි වර්ධනයට වසර 35ක් පුරා උරදුන් ආයෝජකයින්, ලැයිස්තුගත සමාගම්, සහ සියලු වෙළෙඳපොළ අතරමැදියන්ට මා ස්තූතිවන්ත වෙනවා. එපමණක්ද නොව වර්තමානයේ හා හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් , කොළඹ කොටස් හුවමාරුවෙහි සේවකයින්, යන සියලු දෙන කොළඹ කොටස් හුවමාරුව අද්විතීය ස්ථානයකට ඔසවා තැබීමට කරන ලද කැප කිරීම් මා අගය කරන්න කැමතියි.” ලෙසයි.

මූලාරම්භයේ සිටම කොළඹ කොටස් හුවමාරුව රටේ ආර්ථික සංවර්ධනය , ව්‍යවසයකයින් ශක්තිමත් කිරීම ආදී බොහෝ කරුණු වලදී පුරෝගාමී මෙහෙවරක නිරතව තිබේ. එමෙන්ම රටේ ප්‍රාග්ධන  වෙළෙඳපොළෙහි සංවර්ධනයට අවශ්‍ය උපායමාර්ග ක්‍රියාත්මක කිරීමත්, වෙළෙඳපොළ කෙරෙහි ආකර්ෂණය ඇති කිරීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සමඟ එක්ව කටයුතු කිරීමත්, වෙළෙඳපොළ සහභාගී කරුවන් සමඟ එක්ව කටයුතු කරමින් විවිධවූ ආයෝජන අවස්ථාවන් ජනනය කිරීමටත් කරණ ලද කාර්ය භාරය අතිමහත්වේ.

තිස් පස් බවන සංවත්සරය සමරමින් කොළඹ කොටස් හුවමාරුව , සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව හා එක්ව නව තාක්ෂණය භාවිත කරමින් ලංකාවේ ඕනෑම තැනක සිට ආයෝජකයින්ට ප්‍රවේශ විය හැකි පරිදි සියලුම සැපයුම් අන්තයන් හා සේවා අන්තයන් ඩිජිටල් කරණය කිරීමේ ක්‍රියාවලියකට අවතීර්ණ විය. එමෙන්ම නියාමන ක්‍රියාවලිය ශක්තිමත් කරමින් වූ සුදානමත්, ලැයිස්තුගත වීම සඳහා සමාගම් ආකර්ෂණය කරගැනීමට අවශ්‍ය නීති පුළුල්  කිරීමත් , එමෙන්ම Real Estate Investment Trust ලැයිස්තු ගත කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමත් කැපී පෙනේ.

මෙම අවස්තාව පිළිබඳව අදහස් පළකරමින් කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා කියා සිටියේ,  කොළඹ කොටස් හුවමාරුව යනු ශ්‍රී ලංකාව සෞභාග්‍යය කරා යන ගමන අභිප්‍රේරණය කිරීම උදෙසා නොසලෙන ඉලක්කයන් හා කැපවීමක් සහිත ප්‍රධාන ආයතනයක් බවයි.

එමෙන්ම වෙළෙඳපොළ තුල අප පවත්වාගෙන එන ලද අවංකත්වය හා ගුණාත්මකභාවය නොවෙනස්ව තවමත් අපව ඉදිරියට ගෙනයන ගාමක බලවේගය බවත්  විවෘත,  සුරක්ෂිත, සාධාරණ, සංවිධානාත්මක වෙළෙඳපොළ ආයෝජකයින්ගේ විශ්වාසය රඳාපවතින මූලික සාධක ලෙස අපි හොදින් අවබෝධ  කරගෙන සිටින අතරම .  රටක් ලෙස නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ ක්‍රියාවලියේදී කොළඹ  කොටස් හුවමාරුව  සාධනීය ක්‍රියාවලියක නිරත වෙමින් ආයෝජක විශ්වාසය ඇතිකරමින් අවස්ථා පුළුල් කිරීම අපගේ කාර්ය භාරය බවයි.

Visits: 194