ලංකෙම් සිලෝන් පීඑල්සී වෙතින් හිමිකම් කොටස් නිකුතුවක්

කොළඹ කොටස්  හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගම ඉදිරියේදී හිමිකම් නිකුත්වක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි පවසයි. ඒ සඳහා වන අනුමැතිය පසුගිය සිකුරාදා පැවැත්වූ එම සමාගමේ අවසන් අධ්‍යක්ෂ මණ්ඩල  හමුවේදී හිමිව තිබේ.

සමාගම පවසන ආකාරයට මෙහිදී සමාගම සතු සාමාන්‍ය කොටස් මිලියන 33ක් (33,853,200ක්) නිකුත් කිරීමට නියමිතව ඇත. එක් කොටසක් රුපියල් 20 බැගින් මෙම නිකුත්ව සිදු කරන බවත්  පැවසෙයි. එහිදී දැනට පවතින සෑම සාමාන්‍ය කොටසකටම අලුතින් එක් නව සාමාන්‍ය කොටසක් ලෙස මෙම නිකුතුව සිදු කෙරේ.

සමාගමට අවශ්‍ය කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා මෙම හිමිකම් නිකුත්ව සිදු කරන බව ලංකෙම් සිලෝන් පීඑල්සී පවසයි. කෙසේ වෙතත් මෙම නිකුතුව සඳහා එහි කොටස්හිමිකරුවන්ගේ අනුමැතියද හිමිවිය යුතුව තිබේ.

විශේෂයෙන්ම පසුගියදා පැවැති මෙම අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡාවේදී මෙම අලුතින් නිකුත් කරන කොටස් දැනට කොටස්හිමිකම් සහිත කොටස්කරුවන් වෙත වඩාත් සාධාරණව බෙදී යන ආකාරයෙන් සිදු කිරීමටත් සාකච්ඡා කෙරී තිබේ.

ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගමට අනුව අද වනවිට එහි ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් 930,349,000 කි.

මේ අතර අදාළ හිමිකම් නිකුතුව සඳහා කොළඹ කොටස් හුවමාරුවේ අනුමැතිය හිමිවිය යුතුව ඇති බවත්, ඉදිරියේදී පැවැත්වෙන සමාගමේ අතිවිශේෂ මහාසභා රැස්වීමේදී එහි කොටස්කරුවන් වෙතින් ඊට අදාළ අනුමැතිය ලබා ගැනීමටද බලපොරොත්තු වන බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

Visits: 299