මෙරටට එන විදෙස් සංචාරකයන්ටත් Travel bubbles ක්‍රමය හඳුන්වාදීමට අවධානය

ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර පැවති සාකච්ඡා 90% කින් සාර්ථක බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇමති මණ්ඩලයට දැනුම් දුන් බව එම අමාත්‍යාංශය පවසයි.

එහිදී සංචාරකයන් සඳහා වෙන්වූ විශේෂ ප්‍රදේශවල පිහිටි සංචාරක හෝටල්වලට සංචාරකයන් ගෙන්වී‍මේ ක්‍රමවේදය (Travel bubbles) සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ වැඩි එකඟතාවක් පවතින බව සඳහන් වෙයි.

ඒ අනුව ගුවන්තොටුපල විවෘත කර සංචාරකයන්ට රට විවෘත කරන දිනය ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවද ඇමතිවරයා ඊයේ (07) පැවති ඇමති මණ්ඩල රැස්වීමට දැනුම් දී තිබේ.

ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීමේ සූදානම පිළිබඳව ඊයේ (07) පැවති ඇමති මණ්ඩලයේදී අවධානය යොමු වී ඇත. ඇමති මණ්ඩල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සෞඛ්‍ය උපදෙස් මත නිසි ක්‍රමවේදයන් අනුව සංචාරක කර්මාන්තය යලි ආරම්භ කිරීමට එකඟතාවය පල කල හැකි බව මෙහිදී පවසා තිබේ. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමග තමන්ද සාකච්ඡා කළ බව පැවසූ ජනාධිපතිවරයා හඳුනාගත් ප්‍රදේශ වලට සංචාරකයන් ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයන් අනුගමනය කිරීම (Travel bubbles) සුදුසු යැයි පවසා ඇත.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කලේ සංචාරකයන් සඳහා වෙන්වූ විශේෂ ප්‍රදේශවල පිහිටි සංචාරක හෝටල් වලට සංචාරකයන් ගෙන්වී‍මේ ක්‍රමවේදය (Travel bubbles) සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ වැඩි එකඟතාවක් පවතින බවයි.

මීට අදාළ ක්‍රමවේදය සකස් කිරීමට පත් කළ ඒකාබද්ධ කමිටුවේ අවසන් එකඟතාවයන් සම්බන්ධයෙන් කොවිඩ් කමිටුව සමඟත් ජනාධිපතිවරයා සමඟත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා මෙහිදී කීවේය.

මේ අතර, ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීම සම්බන්ධයෙන් වැඩපිළි‍වෙලක් සැකසීම සඳහා පත් කල සංචාරක හා සෞඛ්‍ය බලධාරීන්ගෙන් සමන්විත කමිටුව ඊයේ (07) පැවති  සාකච්ඡාවේදී සංචාරකයන් සඳහා වෙන්වූ විශේෂ ප්‍රදේශ වලට සංචාරකයන් ගෙන්වීමේ ක්‍රමවේද (Travel bubbles) සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

සංචාරකයන් දිවයිනට පැමිණි විට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතිකලත් හෝටල් වල පමණක් ඔවුන් රැඳවීමටත් ඔවුන් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටීම පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත.

මීට අඳාල ඒකාබද්ධ කමිටු සාකච්ඡා ඉතා කඩිනමින් අවසන් කර ඔවුන්ගේ මාර්ගෝපදේශ විෂයභාර අමාත්‍යවරුන්ට ලබාදීමට මෙහිදී තීරණය කර තිබේ.

Visits: 207