ඇලෙක්ස් ලොවෙල් සෙරෙන්ඩිබ් ඉංජිනියරින් සභාපති ධුරයෙන් ඉවත් වෙයි

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් වන සෙරෙන්ඩිබ් ඉන්ජිංනියරිං ගෘප් පීඑල්සී හි සභාපතිවරයා ලෙස කටයුතු කළ ඇලෙක්ස් ඉන්ද්‍රජිත් ලොවෙල් මහතා ඉන් ඉවත්ව ඇතැයි එම සමාගම පවසයි. පසුගිය දෙසැම්බර් 01 වැනිදා සිට මෙම ඉවත්වීම සිදුව තිබේ.

මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඇලෙක්ස් ඉන්ද්‍රජිත් ලොවෙල් මහතා සෙරෙන්ඩිබ් ඉන්ජිංනියරිං ගෘප් පීඑල්සී හි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කළේය. මෙම ඉවත්වීම සිදුවන අවස්ථාව වනවිට ඒ මහතා සතුව සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොවූ බවත් සෙරෙන්ඩිබ් ඉන්ජිංනියරිං ගෘප් පීඑල්සී පවසා සිටියි.

කෙසේ වෙතත් මෙම ඉවත්වීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු හේතුවක් අනාවරණය වී නැත. මෙම ඉවත්වීම සම්බන්දයෙන් කොළඹ කොටස් හුවමාරුව දැනුවත් කිරීම ප්‍රමාද වූයේ ඊට අදාළ තොරතුරු තමන්ට වාර්තා නොවූ නිසා බවද සෙරෙන්ඩිබ් ඉන්ජිංනියරිං ගෘප් පීඑල්සී සඳහන් කර සිටියි.

මේ අතර, මීට පෙර ඔහු සිය මූලිකත්වයෙන් පිහිට වූ බෙන් හෝල්ඩිංග්ස් සමාගමේ විධායක නිලධාරී ධුරයෙන්ද ඉල්ලා අස් විය. මෙම සමාගම එම මහතාගේ පෞද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කෙරී තිබුණු අතර, ඔහු එම සමාගමේ සම්පූර්ණ  හිමිකාරීත්වය පෘතුගාලයේ ලියාපදිංචි සමාගමක් වෙත අලෙවි කර මෙලෙස එම තනතුරුවලින් ඉවත්ව ගියේය.

සෙරෙන්ඩිබ් ඉන්ජිංනියරිං ගෘප් පීඑල්සී සමාගමට අමතරව ලොවෙල් මහතා බෙන් හෝල්ඩිංග්ස් සමාගම යූ.බී. ෆිනෑන්ස් සමාගම මෙන්ම නැෂනල් ඇසෙට් මැනේජ්මන්ට් යන සමාගම්වලද සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

මීට අමතරව ඇසෝසියේටඩ් ඉලෙක්ට්‍රිකල් කෝපරේෂන් සමාගමේ සහ රියල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් යන සමාගම්හි අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර ඇත. එසේම සතොස මෝටර්ස් පීඑල්සී හි මෙන්ම ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සීහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද ඔහු කටයුතු කර ඇත.

ඡායාරූපය – බිස්නස්ටුඩේ සඟරාව

Visits: 100