සුරේෂ් ඩි මෙල් EDB හි නව සභාපතිවරයා ලෙස පත් කෙරේ

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේෂ් ඩි මෙල් මහතා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇතැයි වාර්තා වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තීරණයකට අනුව මෙම නව පත් කිරීම සිදුව තිබේ.

වසරක පමණ කාලයක් එම ධුරය දැරූ මෙරට තවත් සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ප්‍රභාෂ් සුභසිංහ මහතා පසුගියදා එම ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව හිස් වූ පුරප්පාඩුව වෙනුවෙන් මෙම නව පත් කිරීම සිදුව ඇත.

සුරේෂ් ඩි මෙල් මහතා මෙරට අපනයන සහ සංචාරක කර්මාන්තය තුළ වඩාත් කැපී පෙනෙන චරිතයක් බව පැවසෙයි. විශේෂයෙන්ම මෙරට සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසාය ක්ෂේත්‍රය තුළ ඔහු දක්ෂ ව්‍යවසායකයෙකු බව පිළිගැනීමට ලක්ව ඇත.

අද වනවිට මෙරට ප්‍රමුඛ පෙළේ බිලී කොකු (මසුන් ඇල්ලීමේ ක්‍රීඩාව සඳහා යොදාගන්නා) අපනයන සමාගමක් වන Lanka Fishing Flies සමාගමේ සභාපතිවරයා වන්නේ සුරේෂ් ඩි මෙල් මහතාය. 1981 වසරේදී සිය පියා විසින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපාරය අද වනවිට සේවකයන් 200කගෙන් සමන්විතව තංගල්ල, රත්නපුර සහ නුගේගොඩ යන ස්ථානවල පිහිටි කර්මාන්තශාලා ජාලයකින්ද සමන්විත සමාගමක් බවට පත් කර ඇත්තේද ඒ මහතා විසිනි.

මීට අමතරව EcoWave සමාගමේ මෙන්ම EcoWave Travels යන සමාගම්හි සභාපතිවරයා වන්නේද සුරේෂි ඩි මෙල් මහතාය. මේ යටතේ ඔහු විසින් මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්ක තුළ කුළු බඩු වගාකරුවන් හා සම්බන්ධ වෙමින් කාබනික කෘෂිකර්මාන්තයක් දියුණු කිරීම සඳහා මෙන්ම පරිසරහිතකාමී/කෘෂි සංචාරක ව්‍යාපාරයක් ප්‍රවර්ධනයටත් කටයුතු යොදමින් සිටින බවත් පවසයි.

එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ විද්‍යාව පිළිබඳ උපාධියක් හිමිකරගෙන ඇති ඒ මහතා එරට තුළ වසර 10කට වැඩි කාලයක් කෘෂිකාර්මික සහ පාරිසරික ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

Visits: 127