වසරකදී මෙරට අලෙවි වන සැෂේ පැකට්වල වටිනාකම රුපියල් මිලියන 960ක්

මෙරට තුළ වසරකට අලෙවි වන සැෂේ පැකට්වල වල වටිනාකම රුපියල් මිලියන 960ක් බව පරිසර අමාත්‍යාංශය පවසයි.  එහිදී ෂැම්පු, හෙයාර් ඩයි හා හෙයාර් ජෙල් මෙලෙස අලෙවි කෙරෙන බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි. පරිසර අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවක දී මේ කරුණු හෙළිදරව් වී ති බේ.

මෙම තත්ත්වයට පිළියමක් ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අනුව ලබන වසර මුල සිට සැෂේ පැකට්වල අඩංගු ආහාර හා ඖෂධ නොවන සියලු නිෂ්පාදන තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව එම තහනම ක්‍රියාත්මක කිරීමට පෙර දැනට මෙරට එම ව්‍යාපාර කටයුතුවල නිරත පුද්ගලයින්ගෙන් ඔවුන් මුහුණපාන ගැටළු සම්බන්ධවත්, ඔවුන්ගේ නිෂ්පාදන අලෙවිය සඳහා දැනට භාවිතා කරන පරිසරයට අතිශය අහිතකර සැෂේ පැකට් වෙනුවට විකල්ප නිෂ්පාදන හා ක්‍රියාමාර්ග සම්බන්ධවත් මෙම සාකච්ඡාව පැවැත්වී ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති අමාත්‍යවරයා, “අපට පැහැදිලි වූ කරුණක් වුණේ දැනට අප රටේ වසරකට රුපියල් මිලියන 960ක සැෂේ පැකට්වල අඩංගු ෂැම්පු, හෙයාර් ජෙල් හා හෙයාර් ඩයි අලෙවි වන බවයි. ඒ අනුව අපේ රටේ දිනකට රුපියල් ලක්ෂ 26ක එම ද්‍රව්‍ය අලෙවි කෙරෙනවා. මෙම භාවිතා කරන ලද හිස් සැෂේ පැකට් සියල්ලම පරිසරයට මුදා හැරෙන නිසා ජලමුලාශ්‍ර, ගංගා ඇලදොළ මෙන්ම වැව් පොකුණු මෙන්ම දිය ඇලිද බරපතල පරිසර තර්ජනයකට ලක්ව තිබෙනවා’” යනුවෙන් පවසා තිබේ.

එහිදී එක්තරා සමාගමක් විසින් මේ වනවිට ෂැම්පු, හෙයාර් ඩයි මෙන්ම හෙයාර් ජෙල් ඇසුරුම් කිරීම සඳහා එම පැකට් බිලියන 05ක් ගෙන්වා ඇතැයි එම සමාගම විසින් තමන්ට දන්වන ලද බවද අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කර ඇත.

කෙසේ වුවද, 2021 ජනවාරි 01 දින සිට මෙම සැෂේ පැකට් භාවිතය මෙරට තහනම් කිරීමට සැලසුම් කර ඇති අතර එහිදී වෛද්‍ය හා ආහාර සැකසුම් තහනම් නොකෙරෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර තමන්ට සහන කාලයක් ලබා දෙන ලෙස ඇතැම් සමාගම් විසින් ඉල්ලා ඇති අතර මෙම තීරණය ගනු ලැබුයේ එම සමාගම් අකර්මණ්‍ය කිරීමේ අරමුණින් නොවන නමුත් අදාළ සමාගම් විසින් විශාල ලාබයක් මෙමගින් උපයන නිසා රටේ පරිසර සුරක්ෂිතතාවය උදෙසා ද අවධානය යොමු කළ යුතු යැයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත.

Visits: 130