රේනුකා කැපිටල් සතුව On’ally Holdings PLC හි තිබූ කොටස් 43.821%ක් විකුණයි

රේනුකා හෝල්ඩිංග්ස් සමූහ ව්‍යාපාරයට අයත් රේනුකා කැපිටල් පීඑල්සී සමාගම සතුව තිබූ On’ally Holdings PLC හි සාමාන්‍ය කොටස් මිලියන 40.7ක් (40,754,820ක්) ඊයේ දිනයේදී අලෙවි කර දැමූ බව එම සමාගම පවසයි. මෙහිදී අලෙවි කෙරුණු කොටස් ප්‍රතිශතය 43.821෴ක් බවද රේනුකා කැපිටල් පීඑල්සී සමාගම සඳහන් කරයි.

කොළඹ පිහිටි සුප්‍රසිද්ධ යුනිටි ප්ලාස් ගොඩනැගිල්ලේ හිමිකාර සමාගම වන්නේ මෙම On’ally Holdings PLC සමාගමයි. මෙහිදී ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම වෙත මෙම කොටස් අලෙවි කර ඇත. කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු වූ මෙම ගනුදෙනුවේදී එක් කොටසක් රුපියල් 30.20 බැගින් අලෙවි වී තිබේ.

දේපළ වෙළෙඳාම්, නිෂ්පාදන සහ ලේෂර් යන අංශයන්හි සිය ව්‍යාපාර පවත්වාගෙන යන ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී සමාගම දශක පහකට අධික කාලයක් මෙරට තුළ සිය වාණිජ මෙහෙයුම් සිදු කරන බවත් පවසයි. කොළඹ කොටස්  හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් වන එය 2017 වසරේදී බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලාංකික ආයෝජකයන් පිරිසක් විසින් මිලදී ගත් බවත් පවසයි. අද වන විට එහි කොටසක වටිනාකම රුපියල් 39ක් ලෙස සටහන්ව ඇත.

මෙරට සුප්‍රසිද්ධ බ්ලොක් ගල් සහ ඇතුරුම්ගල් නිෂ්පාදන සමාගමක් වන Amtrad සමාගමේ හිමිකාරීත්වය පවතින්නේද ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමටයි. ඊට අමතරව LR Developments (Private) Limited – LRD, Mulberry Holdings (Pvt) Ltd, 285 Darley Road (Pvt) Ltd, Baseline Holdings (Pvt) Ltd සහ Thudella Holdings (Pvt) Ltd යන සමාගම් දේපළ වෙළෙඳ සමාගම් අංශය යටතේද, LR Leisure (Private) Limited – LRL, Lanka Realty Ambalangoda (Pvt) Ltd, Almond Trees (Pvt) Ltd, Ilook Villa (Pvt) Ltd සහ Alexandra Holdings (Pvt) Ltd යන සමාගම් එහි ලෙෂර් අංශය යටතේද ක්‍රියාත්මක වෙයි.

Visits: 526